මාවනැල්ල උතුවන්කන්දේ පැවැති වියත් සංසදයේ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ජානිපෙ නායක විමල් වීරවංශ මෙසේ කියා තිබේ.

‘‘රනිල් වික්‍රමසිංහ තරම් බටහිරට සුදුසු තෝරා ගැනීමක්
වෙන ඇත්තේ නැහැ. රනිල් සජිත්ට කොන්දේසි දාලා පීනන්න දානවා අත්දෙක නිදහස් කකුල් දෙකේ පොඩි ගැටයක් ගහනවා. සජිත් පීනනවා. පීනාගෙන යනකොට ගිලෙනවා. පරදිනවා. ඊට පස්සේ සජිත් මහත්තයාට කියනවා ඔයාට බැහැනේ ඔයා යන්න. රනිල් නැවත විපක්ෂ නායක වෙනවා. විපක්ෂ නායක වුණාම රනිල් නැවත
එයාගේ පැලැන්තියට ගැලපෙන කෙනෙකුට ඊළඟ බැටන් එක දීලා විශ්‍රාම යනවා.
දැන් සජිත් මහත්තයා ගාව තියෙනවා බරපතළ තෝරා ගැනීම් දෙකක්. එකක් කොන්දේසිවලට යටත්ව ඉල්ලනවා. නොමිනේෂන් දුන්නාට පස්සේ කොන්දේසි පස්සට දානව. ඒ ගියත් ඔහු පරද්දන්න වික්‍රමසිංහ මහත්තයාගේ අය ඇතුළේ ඉඳන් වැඩ කරනවා.

දැන් මේ එක්සත් ජාතික පක්ෂයට පල දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය. දැන් යූ.ඇන් පී. එකේ එක එකා මරා ගන්නවා. ඒ ඇවිත් ස්වභාධර්මයා දෙන ප්‍රතික්‍රියාව.

තමුන්නාන්සේලා අපි මේ රටේ තීරණාත්මක සන්ධිස්ථානයක් පාමුල ඉඳගෙන ඉඳලා තමයි අද මේ ශාලාව තුළදී මුණගැසෙන්නේ. මේ අවස්ථාවට සහභාගි වෙන්නේ, අපේ රටේ තීරණාත්මක කඩඉමක් ළඟ ඉන්න රට වැසියන් හැටියටයි. ලබන මස 7 වැනිදා ජනාධිපතිවරණ නාම යෝජනා දීම අවසන් වෙන කොට නොවැම්බර් 16 වැනිදා මේ රටේ ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කරන්නට ඔබ තමුන්නාන්සේලාට අවස්ථාව උදා වෙනකොට, එදාට මේ රට ගන්න තීරණයට අනුව ජාතියේ මාතෘභූමියේ විපත එහෙම නැත්නම් සැපත පිළිබඳ ප්‍රශ්නය තීරණය වෙනවා.‘‘

කේ. වී. සමන් විජේබණ්ඩාර - මාවනැල්ල