ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුසල් සඳහා 2017 වර්ෂයේ දි මිලදී ගත් ඖෂධවලින් රුපියල්
කෝටි දහයකට වැඩි වටිනා ඖෂධ තොගයක් තත්වයෙන් අසමත් හා කල් ඉකුත්වී තිබිණැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව (කෝප්) මැතිසබයට පෙරේදා (23) ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙයි.

රුපියල් කෝටි අටකට වැඩි වටිනා ඖෂධ කල් ඉකුත්වී තිබූ අතර තත්වයෙන් අසමත් (බාල) ඖෂධවල විනාකම රුපියල් කෝටි දෙකකට වැඩි යැයි ද වාර්තාවේ දැක්වෙයි.


සංස්ථාව 2016 වර්ශයේ දී මිල දී ගත් ඖෂධවලින් රුපියල් කෝටි 13ක ඖෂධ තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත්වී තිබූ බවත් 2015 වර්ෂයේ දී මිල දී ගන් ඖෂධවලින් රුපියල් කෝටි හතරකට වැඩි ඖෂධ ද නරක් වී තිබූ බවත් කෝප් කමිටු වාර්තාව අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාවේ සභාපතිගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී ආයතනයට පාඩුවක් නොවන අයුරින් ඒ මුදල් සැපයුම්කරුවගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව ඔහු එහි දී පැවැසී යැයි ද කෝප් කමිටුව පවසයි.

මේ අතර ශ්‍රී ලංකං රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2014 දී Formoterol Fumarate yd Budesonide Cry Powder Capsules ඖෂධ මිල දී ගැනීමේ දි ප්‍රමාදයක් සිදුවී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සැපයුම්කරුගෙන් අයකර ගත යුතුව තිබෙන රුපියල් කෝටි දෙකකට වැඩි ප්‍රමාද ගාස්තු  අයකරගෙන නැති බවත් කෝප් කමිටු විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මේ පිළිබඳව සංස්ථා ප්‍රධානින්ගෙන් කරුණු විමසීමේ දි ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට නොහැකි වුණු බව ඔවුන් පිළිගන්නේ යැයි ද කෝප් කමිටුව පවසයි.

මේ අතර රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ඖෂධ තොග ගබඩාවල භෞතිකව නොතිබීමේ සිද්ධියක් පිළිබඳව ද කෝප් කමිටුව සංස්ථා ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. වගකිව යුතු නිලධාරින්ගෙන් නිදහසට කරුණු විමසූ බව සංස්ථා ප්‍රධානින් එහිදී පැවැසුවේ යැයි ද කෝප් වාර්තාවේ දැවෙයි.

සංස්ථාවේ විධායක ශ්‍රේණියේ පුරප්පාඩු 31ක් හා විධායක නොවන පුරප්පාඩු 82ක් 2017 වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් නොපිරවීම පිළිබඳවත් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

සුජිත් හේවාජූලිගේ