බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාත්තාවකට පහරදී අඩත්තේනටත්ට්ටම් කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මග හරිමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු භාරවීමෙන් අනතුරුව ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය පවසයි.

සිංහල ජාතිකයකු හා විවාහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් තමන්ගේ නිවසට කඩා වැදී තමාට හා මවට පහරදී නිවසේ දේපොළවලට අලාභ හානි සිදුකළ බවට පසුගිය මාර්තු මස 24 වැනි දින කාන්තාවක බණ්ඩාරගම පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පුද්ගලයින් විසිදෙනෙකුට ආසන්න පිරිසක් බණ්ඩාරගම පොලීසිය විසින් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එම සැකකරුවන් හය දෙනෙකු පසුගිය ජුනි මස 21 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කළ බව පොලීසිය පවසයි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලීසියෙන් පසුගිය අගෝස්තු 02 වැනි දින ඉවත් කළ අධිකරණය එම විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයවෙත පැවරීම සිදුකළ බව පොලීසිය පවසයි.

මේ අතර මෙම පැණිල්ලේ සාක්ෂිකරුවන්ට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිනියාස් නමැත්තා මේ වන විටත් ඊමාන්ඩ් භාරයේ පසුවන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි විදුර පී. ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා උපපොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ඇතුළු නිලධාරීහු  පරීක්ෂණ පවත්වති.

බන්ඩාරගම - බිමල් ශ්‍යාමන්