ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහාරන්ගේ දේශනවලට සම්බන්ධ ‍වෙමින් අවි ආයුධ පුහුණුව ලබා අයි.එස්.අයි.එස් සංවිධානයේ මතවාද ප්‍රචාරය කරමින් සිටි එම සංවිධානයේ සාමාජිකයින් 14 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පාස්කු
ඉරිදා ප්‍රහාරය අදාළව ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා සිට අම්පාර සහ මඩකළපුව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන සිටින මෙම සැකකරුවන් 14 දෙනා සම්බන්ධයෙන් එම කොට්ඨාසය එලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සැකකරුවන් ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ වූ මොහොමඩ් සහරාන් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැති ඔවුන්ගේ පුහුණු කිරිමේ මධ්‍යස්ථානවලදී අවි පුහුණුව ලබා ඇති බවත්, මොහොමඩ් සහරාන්ගේ සියලු දේශනවලට අඛණ්ඩව සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සැකකරුවන් එම පුහුණුවීම්වලදී අයි එස් අයි එස් සංවිධානයේ මතවාද සහිත සී.ඩී. තැටි නරඹමින් ඒවා අධ්‍යයනය කරමින් සිට ඇති බවටද නවීන අවි ආයුධ පාවිච්චි කිරිම සම්බන්ධයෙන් එහිදී අත්හදා බැලීම් ආදිය සිදුකර ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත බී වාර්තා 14 ක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

මෙම සැකකරුවන් එම පුහුණුවීමීවල නිරත වීමෙන් අනතුරුව අයි එස් ක්‍රියා කාරිත්වයට අදාළ යම් යම් කරුණු ඔවුන්ගේ මුහුණු පොත් ආධාරයෙන් අන්තර්ජාලය වෙත මුදා හැර ඒවා සමාජ ගත කිරිමට ද කටයුතු කර ඇතැයි ද එම කොට්ඨාසය සිය බී වාර්තාවල සඳහන් කර ඇත.

ඒ අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය  අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ හිඟුල
නුවරපාරේ
පදිංචි හිස්බුල්ලා අහමඩ්, මාවනැලේ පදිංචි මුස්තාන් අලි අහමඩ්, කොස්දෙණිය ගොඩපාර පදිංචි සෙයියඳු අහම්දින් හසන්, මාවනැලේ  පදිංචි මොහොමඩ් රියාද්, ගල්මය පදිංචි මොහොමඩ් මන්සුන් රියාස්,
ගාලේ පදිංචි මුහම්මද් අවුතාද් අහස් මුහම්මද්, වෙලන්ගොඩ පදිංචි මොහොමඩ් රෙයාසින් මොහොමඩ් අලි,පොල්ගොල්ල පදිංචි මොහම්මදු රයිසදීන් අබ්දුල් රහුමාන්, නාන්ගල්ල පදිංචි රම්සින් රුෂ්දින් අහමද්, මාවනැල්ල පදිංචි අබ්දුල් හලීම් මොහොමඩ් හම්සි, මාවනැල්ලේ පදිංචි මුහම්මද් කාසිම් මුහම්මද් අනිල්, ගල්ඔය පදිංචි මොහම්මදු සාහීර් මොහම්මදු අෂ්වර්, කදුරුවෙල පදිංචි මොහිදින් බාවා මොහොමඩ් රූඩි සහ මාවනැල්ල පදිංචි  මොහොමඩ් තාහීර් හිදායිතුල්ලා යන සැකකරුවන් 14 දෙනා සම්බන්ධයෙනි.

මින් ඉහතදී ඉකුත් අගෝස්තු මස 09 වැනිදා ත්‍රස්ත මදන හා විමර්ශන කොට්ඨාසය තවත් සැකකරුවන් 28 දෙනකු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඒ අනුව  එම සැකකරුවන් ද මේ වන විට එම
කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම සිදු කෙරේ.

-නිමන්ති රණසිංහ-