ඉන්දියාවෙන් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂකවරයාගේ නිර්දේශ ලැබෙන තෙක් රඳවා තිබූ වියළි මිරිස් මෙට්‍රික් ටොන් දෙසියයකට අධික තොගයක් වෙළඳ පොළට නිකුත් කර තිබෙන බවට තහවුරු වී තිබේ.
සමාගම් දහඅටක් විසින් මෙරටට ගෙන්වා තිබූ වියළි මිරිස් තොග අදාළ සමාගම්වල ගබඩා කිරීමට අවසර ලබා දී තිබූ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආහාර පරීක්ෂකවරයාගේ නිර්දේශය ලැබෙන තෙක් රඳවා තබා තිබූ මිරීස් තොගවලින් මෙට්‍රික් ටොන් දෙසීයකට (200) ආසන්න ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන හෙයින් අදාළ සමාගම් වලට එරෙහිව රේගු නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ වියළි මිරිස් තොග තුළ ඇෆ්ලටොක්සින් මට්ටම ඉහළ අගයක් ගෙන ඇතැයි තහවුරු වී තිබෙන අතර, මේ හරහා වකුගඩු රෝග, අක්මාවේ රෝග හා පිළිකා රෝග ඇතිවිය හැකි බවටද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

මිරිස්වල අඩංගු වියහැකි ඇෆ්ලිටොක්සින් මට්ටම කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 30ට අඩුවිය යුතු බවද සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

මේ නිසා ම්රිස් තොගය වෙළෙඳ පොළට මුදාහැරි සමාගම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්, සමාගම් සතු ගබඩාවල තිබෙන ඉතිරි වියළි මිස් තොග පිළිබඳවද තීරණයක් ගන්නා බවත් රේගු දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් සදහන් කළේය.

මේ අතර, විෂකාරක අඩංගු බව කියන වියළි මිරිස් තොගයක් වෙළෙඳ පොළට නිකුත් වී තිබීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මිරිස් මිලදී ගැනීමේදී මිරිස් කරල අධික ලෙස පුස් කා තිබෙනවා නම් හෝ මිරිස් කරල දෙකට කැඩීමන් පසු ඇතුළත ඇට පුස්කා තිබෙනවා නම් එම මීරිස් මිලදීගැනීමෙන් වැළකී සිටින ලෙස එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.

එවැනි මිරිස් තොග තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

 - ඉන්දික හේවාවිතාරණ