ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා ලබන සෙනසුරාදා  දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්
පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (30) රාත්‍රීයේ දී තීරණය කොට ඇත.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රී පැවැති  ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය 
දෙන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී අවනත තීරණයක් ගැනීමට නියමිතය.ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ ගැටලුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ නම් සහය දීම ගැටලුවක් බව මධ්‍යම කාරක සභිකයින් වැඩි දෙනෙකු ප්‍රකාශ කර ඇත.

මේ අතර පොදුජන පෙරමුණ සමග එක්වන්නේ නම් අත්සන් කිරිමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

එම කෙටුම්පත අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත.  මධ්‍යම කාරක සභා රැස්වීම පැය 3 1/2 ක පමණ කාලයක් පැවැති බව ද වාර්තා වේ.

-අජන්ත කුමාර අගලකඩ-