කොටුව පොලිස් වසමේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් පවත්වන ලද උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණය ඉදිරිපත් කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත්වූ විරෝධතාවට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

එහිදී මෙම සිසුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ඉහළ දමන ලෙසත්, මහ පොළ කප්පාදුව නතර කිරීම හා ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණි.

විරෝධතාකරුවන් මරදානේ සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර ලෝටස් වටරවුම අසළින් පොලිසිය මාර්ග බාධය යොදා මාර්ගය වසා දැමුවේය.

එහිදී විරෝධතාකරුවන් මාර්ග බාධක නොතකමින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව සිසුන් 53 කු මහජන පීඩාව හා අයුතු ජනරාශීය යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුන් අද(25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයින් 52 ක්, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

නමුත් එක් ශිෂ්‍යයෙක් පමණක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් පවතින බැවින් එම ශිෂ්‍යා 2019.11.08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.