පාර්ලිමේන්තූව තවත් මාස 06කින් පසුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

ඒ අනුව මාස හයකට පසුව නව පාර්ලිමේන්තුවක් පත්වෙනු ඇති බවද කථානායකවරයා සඳහන් කළේය.

මහජනතාවට පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් දැනගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අටවැනි පාර්ලිමේන්තුව තුළ මහජනතාවට පාර්ලිමේන්තුවේ කටයුතු දැනගැනීමට අවස්ථාව ලබාදුන් බවත්, මහජනතාවට වැදගත්වන නීතිරීති රාශියක් සම්පාදනය කිරීමට හැකි වූ බවත් කථානායකවරයා පැවසීය.

තමා ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීම් පනත හේතුවෙන් රාජ්‍ය ආයතනවල දූෂණය, නාස්තිය අඩු වීම තිබෙන බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු තුළින් සමාජයට යුක්තිය, සාධාරණත්වය ඉටුකිරීමට බලාපොරොත්තු වෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ මූල්‍ය ආධාර යටතේ පාර්ලිමේන්තුවේ නවීකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානය සහ අලුතින් ආරම්භ කළ පටිගත කිරීම් මැදිරිය විවෘත කළ අවස්ථාවට ඊයේ (30දා) එවමින් කරු ජයසුරිය මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ අලුතින් ආරම්භ කළ ආංශික අධීක්‍ෂණ කාරක සභා සියල්ල මාධ්‍යයට විවෘත කරන බවත්, එවිට එම කාරක සභාවල සිදුවන සත්‍ය තත්වය මහජනතාවට දැකබලා ගැනීමට හැකි වන බවත් කථානායකවරයා සඳහන් කළේය.

ලෝකයේ පාර්ලිමේන්තු අතර සබඳතාවන් ඇති කර ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෝකයට අලුත් අත්දැකීමක් හඳුන්වා දුන් බවත්, ඒ අනුව යමින් ලෝකයේ රටවල් රාශියක පාර්ලිමේන්තු සමග සබඳතා ඇති කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරීහු, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ නිලධාරීහු සහ මාධ්‍යවේදීහු එක්ව සිටියහ.

අමිත් මධුරංග