පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා බුද්ධි අංශ , පොලීසිය හා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් රැසකට වගකීම පැවරී තිබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම් පාර්ලිමිත්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයට (SiS) ප්‍රධාන වගකීම පැවරී තිබුණු බවත් ඔවුන්ට අමතරව නීතිය හා සාමය අමාත්‍ය ධුරය දැරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා ආරක්ෂික රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා, පොලිස්පතිවරයා, හමුදා බුද්ධි ප්‍රධානියා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හට මෙහි වගකීම
පැවරෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේ.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අත්තවාදී ප්‍රකාශ සිදුකරමින් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පසුබිම සකස්කර තිබුණු බවද හෙතෙම පැවසීය.

ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ත්‍රස්ත කටයුත්තක නියැළෙන බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව 2018 අප්‍රේල් මාසයේ සිට ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම රාජ්‍ය බුද්ධි සේවයට පවරා තිබුණ බවද සභාපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි අංශය සිය වගකීම නිසි පරිදි ඉටුකර නොමැති බවත්, එම අංශයේ රාජකාරීය නියමිත පරිද්දෙන් ඉටුකළේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අනෙකුත් ආයතන දැනුම්වත් වීමට තිබුණු බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කමිටු කාමර 01හි පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද කුමාරසිරි මහතා මේ බව පැවසීය.

රාජ්‍ය බුද්ධි අංශය විසින් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන පමණක් දැනුම්වත් කර තිබෙන බවත්, නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර නොමැති බවත්, නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව දේවස්ථාන හා කාදිනල්වරයා දැනුම්වත් කිරීමේ විගකීමක් තිබුණු බවත්, එසේ වූයේ නම් හානිය අවම කර ගැනීමට ඉඩ තිබුණු බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

විශේෂ කාරක සභාව මගින් මැයි 23දා සිට රැස්වීම් වාර 24ක් පවත්වා 51 දෙනෙකු කැඳවා සාක්ෂි ලබාගත් බවත්, කාරක සභාවේ සාමාජිකයන් එක්ව සකස් කළ වාර්තාව මඟින් නිර්දේශ 08ක් ඉදිරිපත් කර තිබෙන බවත් හෙතම පැවසීය.

ආරක්ෂක හා බුද්ධි අංශවල අතවශ්‍ය ප්‍රතිසංස්කරණ, ශක්තිමත් මූල්‍ය අධීක්‍ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ආගමික අන්තවාදය පාලනය, අධිකරණ කටයුතුවල ප්‍රමාදය හා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය පිළිබඳව සොයා බලා කටයුතු කිරීම, වහබ්වාදය පාලනය කිරීමට ක්‍රියා මාර්ග ගැනීම, මාධ්‍යවල වාර්තාකරණය හා ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය, දේශපාලනඥයන් ජනතාවට වගවීම, ආගමික අන්තවාදය පාලනය කිරීම සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන් ඇතිකිරීම, මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන බව කුමාරසිරි මහතා පැවසිය.

කාරක සභාවේ සාමාජිකයන් විසින් ස්වාධීන සාක්ෂි ලබාගැනීම් සිදුකළ බවත්, එම සාක්ෂිකරුවන් කිසිකෙනෙකු අධිකරණයට ගෙන යා නොහැකි බවත් පැවසු නියෝජ්‍ය කථානායකවරයා නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් කාරක සභාව සිදුකළ බව පවසා සිටයේය. මෙම වාර්තාව සම්බන්ධව විවාදයක් පැවැත්වීමට සභානායක ලක්මන් කිරිඇල්ල මහතා එකඟ වූ බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ භාෂා ත්‍රිත්වයෙන් මෙම වාර්තාව ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද කුමාරසිරි මහතා,
"ආගමික අන්තවාදය හා දේශපාලනික වශයෙන් එයට උදව් කළ අය පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු බව පැහැදිලියි. රාජ්‍ය බුද්ධි යාන්ත්‍රණයේ දුබලතාවක් නිසයි ප්‍රහාරය ඇති වුණේ.මේ සිද්ධියට සම්බන්ධ අය පසුගිය රජය සමයේදී යුද්ධයේ ඔත්තුකරුවන් ලෙස පාචිචි කර තිබෙනවා. ඔවුන්ට ගෙවීම් කර තිබුණා. 2000 අප්‍රේල් මාසයේදී රාජ්‍ය බුද්ධි සේවය ඉල්ලීමක් කර තිබෙනවා මෙම විමර්ශනවල සම්පූර්ණ වගකීම ලබාදෙන ලෙස.

ඉන් පසු එම පරීක්ෂණවලින් ත්‍රස්ත විමර්ශන ඒකකය ඉවත් වුණා. ඉන් පසුව ඒ ගැන සොයා බැලීම දිගටම කරගෙන ගිය රාජ්‍ය බුද්ධි සේවය මගින්. පාස්කු ප්‍රහාරය වෙනකම් ත්‍රස්තවාදීන් හඳුනාගන්න බැරි වුණා. 2017, 2018, 2019 වසරවල මොවුන් ගැන දැනුවත් වෙලා තිබුණත් අත්අඩංගුවට ගන්න නොහැකි වුණා.

මෙහිදී අඩුපාඩු ගණනාවක් සිදුවී තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් තම තමන්ගේ වගකීම් හරියට ඉටුකළා නම් ප්‍රහාරයේ හානිය අවම කරගන්න තිබුනා. යම් යම් කරුණු පිළිබඳ දැනුවත් වෙලා හිටියත්, නැගෙනහිර පළාත් පොලීසියේ වගකීම් දරන නිලධාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා නෑ.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන පමණයි මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තියෙන්නේ. ප්‍රහාරයක් එල්ල කරනවා කියලා දැනගත්තාම දේවස්ථාවල ප්‍රධානීන් හා කාදිනල්තුමා දැනුවත් කරන්න තිබුණා.

කාරක සභාව බොහොම ස්වාධීනව මේ සියලු ප්‍රශ්න ගැන සාක්ෂි ලබාගත්තා. ඒ අනුව තමයි ප්‍රහාරය වළක්වා ගන්න තිබුණු වැඩපිළිවෙළේ අඩුපාඩු පෙන්වා දෙන්නේ . අපිට කිසිකෙනෙකු අධිකරණයට ගෙනියන්න බෑ. අපිට තියෙන්නේ අවශ්‍ය යෝජනා හා නිර්දේශ ඉටුකිරීම පමණයි. රාජ්‍ය බුද්ධි සේවයට තමයි සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ යනුවෙන් පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට විශේෂ කාරක සභාවේ සාමාජිකයන් වන ජයම්පති වික්‍රමරත්න, නලින්ද ජයතිස්ස, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන්ද එක් වූහ.


අමිත් මධුරංග