අරුවක්කාලු කසළ අංගණයේ  පවතින දුගඳ ඉවසා ගත නොහැකි බව පවසමින් සේරක්කුලිය ගම්වාසීහු පිසක් ඊයේ (30) වනාතවිල්ලුව නගරයේදී විරෝධතාවක නිරත වූහ.

කසළ අංගණයෙන් පසුගිය දින කිහිපය පුරා හැමූ දුගඳ නොනැවතීම නිසා ඊයේ වනාතවිල්ලුව කතෝලික දේවස්ථානයට පැමිණියහ.

ඒහිදී වනාතවිල්ලුව මීසම් පාලක ක්‍රිස්ටි පෙරේරා පියතුමන් ජනතාව දැනුවත් කරමින් පවසා සිටියේ ජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු අයකුට හිහැරයක් නොවන ලෙසට සාමකාමී අයුරින් විරෝධය පෑමට අයිතියක් ඇති බවත් ඒ අනුව ක්‍රියා කරන ලෙසත්ය.

පසුව දේවස්ථානයේ සිට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස තමන්ගේ ජීවත්වීමේ අයිතිය බලධාරින් අහිමි කර ඇති බවට පවසමින් පැය තුනකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වූහ.

විරෝධතාව ආරම්භ කරන අවස්ථාවේදී වනාතවිල්ලුව පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ පුත්තලම අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ලබාදෙමින් පවසා සිටියේ අධිකරණ නියෝගවලට පිටින් ගියහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවයි.

පිරිස විරෝධතාවේ නිරත වුවද එම ස්ථානයට වගකිවයුතු පාර්ශ්වයක් නොපැමිණීම නිසා කුඩාරම් සකසමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ යාබද බිමක කුඩාරමි සකස් කොට පිරිස එහි නවාතැන් ගැනීමට කටයුතු කරන ලදී.

සේරක්කුලිය ගම්මානයට අරුවක්කාලු කසළ අංගණයේ දුගඳ පැතිරී යෑමත් සමග සේරක්කුලිය විද්‍යාලයේ දරුවන් අඩකටත් වඩා ප්‍රමාණයක් පාසල් නොපැමිණි බව එහි ආචාර්ය බර්නඩින් අමරසිංහ කන්‍යා සොයුරිය පවසා සිටියාය.

මෙහිදී එහි ඉගෙනුම ලබන දරුවන් පිරිසක් පවසා සිටියේ තමන්ට නිවෙස්වල පවා වාසය කිරීමට නොහැකි ලෙස දුගඳ හමන බවත් එම පාසලට පැමිණි පසුද දුගඳ හේතුවෙන් වමය හා ක්ලාන්තය වැනි රෝගවලට ලක්වූ බවත්ය.

මේ අතර ඊයේ (30දා) සේරක්කුලියේ කිසිදු ධීවරයකු කලපු හා මුහුදු යෑමෙන් වැළකී සිටීම නිසා කලපුවේ යාත්‍රා ගාල් කර තිබෙනු දැකගත හැකි විය.

මෙහිදී අදහස් දැක්වූ වනාතවිල්ලුව මීසම් පාලක ක්‍රිස්ටි පෙරේරා පියතුමා මෙසේ පැවසීය.
"පාඨලී චම්පික ඇමතිවරයා පැවසූ විද්‍යාත්මක කසළ අංගණය කොහෙද තියෙන්නේ කියලා අපි දැන් ප්‍රශ්න කරනවා. ඒ මිනිස්සු කුට්ටි පිටින් කොමිස්සේ ගහද්දී ඇම් මේ අහිංසකයන් වෙනුවෙන් ඉන්නේ අපි විතරයි. ලෑජ්ජයි මේ ඇමතිවරු ගැන.
කාටවත් කරදරයක් නැතිව ජීවත්වූ මේ ජනතාවට අද ජීවත්වීමි අයිතිය මේ ඇමතිවරුන් අහිමි කරලා. දැන් මේ මිනිසුන් මහපාරට ඇද දමලා. කොළඹ පිරිසුදු කරන්න කොළඹ ඡන්ද හදන්න මේ ලැජ්ජා නැති ඇමතිවරු මේ අහිංසක ජීවිත විනාශ කළා. අපි මුලදී මේ ගැන කියුවාම එසේ නැහැ කියුවා.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ( පොදුජන | පෙරමුණ ) බුද්ධිකගිහාන්
“මේ මිනිසුන් වැඩි වැටුප්, ඉන්ධන සහනාධාර, ජීවත් වෙන්න සලාක, ඉල්ලා නොවෙයි මේ විරෝධතාවේ නිරත වෙන්නේ. ජීවත් වෙන්න අයිතිය ඉල්ලලයි, පාඨලී චමිපික ඇමතිවරයා මේ ජනතාවගේ  ලස්සන ජීවිත විනාශ කරලා කොමිස් ගහලා. හෙන ගහනවා මේ කරපු අපරාධයට. ඇයි මේ අහිංසක මිනිසුන්ට මේ දේ කළේ. අපි මුල ඉදන්ම මේ කසළ අංගණයට විරෝධය පෑවේ මෙන්න මේ නිසයි. අද එළිපිට හෙළි වෙලා, ඒ ඇමතිවරුන්ගේ කෙරුවාව"
විරෝධතාකරුවන් සිය දරුවන් සමග ඊයේ සවස් වනතුරුම රැදී සිටි අතර ඔවුන් පවසා සිටියේ මේ සඳහා නිසි පිළිතුරක් ලැබෙන තුරු මෙම ස්ථානයන් නොයන බවයි.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ