තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා
අත්පත් කරගත් බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ
සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මෙලෙස ව්‍යාජ ඔප්පු සකසා අදාළ ඉඩම අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

පසුගිය 2015 වසරේ නොවැම්බර් 16 වැනිදා අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නැමැත්තෙකු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ නඩුව ඉවත් කර ගන්නා ලෙසට රිෆ්කාන් බදියුදීන්ගේ ආධාරකරුවන් විසින් තම සේවාදායකයාට දුරකතනයෙන් තර්ජනය කර ඇතැයි පවසමින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන ඊයේ මෝසමක් ගොනුකරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.