"එක්සත් ජාතික පක්ෂය මෙදා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විදියට හංසයා ලකුණින් පක්ෂ, සංවිධාන විශාල ප්‍රමාණයක් එකතු කරගෙන දැවැන්ත පුළුල්
පෙරමුණක් ඇති කරලා තියෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය" යැයි නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

පන්නල මහජන ක්‍රීඩාංගණයේදී පෙරේදා (22දා) පැවැති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
" එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති උණේ තමන්ගේ පුතාට කිරුළු පලන්දන්න නෙමේ. තමාගේ නැදැ සංහාරයට කිරුළු පලදන්න නෙමේ, මේ රටේ අහිංසක  දුප්පත් ජනතාවට කිරුළු පලන්දන්නයි. අන්න ඒකයි මේ රටේ පත්වූ සමහර නායකයන්ට වඩා රණසිංහ ප්‍රේමදාස මහත්තයා වෙනස් වෙන්නේ.

අද දැවෙන විදුලි බුබුළක් ගාන්නේ ජල විදුලි තාක්ෂණය දියුණු කළේ ගාමිණි දිසානායක මැතිතුමා. විශ්වවිද්‍යාල දරුවට අභිමානයෙන් ඉගෙන ගන්න මහපොළ ශිෂ්‍යාධාර දුන්නේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, සමහරු අහනවා යූඇන්පියෙන් රටට මොනවද කළේ කියලා. ඒකයි මතක් කරන්නේ,

මෙවර ජනාධිපතිවරණයට තරගකරුවන් තිස් ගානක් ඉන්නකොට ප්‍රධාන තරගය තියන් අපේක්ෂකයෝ දෙනෙක් අතරේ. එයිනුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රතිවාදී
අපේක්ෂේකයාට වඩා ගව් ගානක් ඉදිරියෙන් ජනතා බලයත් එක්ක ඉන්නේ. එතුමාට දූෂණ වංචා, චෝදනා නෑ. එතුමාගේ දෑත්වල මඩ නෑ. එහෙම නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා.

අද වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා, අරලියගහ මන්දිරය ගාවට ගිහිල්ලා, පාර්ලිමේන්තුව ගාවට ගිහිල්ලා විරෝධය පළකරන්න පුළුවන්කම තියනවා. මාධ්‍ය හරහා ලියන, කියන, කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රතිවාදී අපේක්ෂකයට කතිරේ ගහලා තමුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාගන්න උද්ඝෝෂණ කරන්න, සටන් කරන්න, අරගල කරන අවස්ථාවක් ලැබෙයිද. වැටුප් විෂමතා වනුවෙන් අරගල කරන්න පුළුවන්කමක් ලැබෙයිද. ඒ මොනවත් බෑ. තමුන්නාන්සේලාට අවශය එහෙම යුගයක්ද යැයිද පවසා සිටියේය.

වඩුමුන්නේගෙදර ටී.පි.අධිකාරි