https://www.gossiplankanews.com/2019/10/crore-11-train-strike.html#more
දුම්රිය වැඩ වර්ජනයට මූලික වී ඇති ගැටලූ සම්බන්ධව ඊයේ (30 දා) කැබිනට් අනු කමිටු සාමාජිකයින් සහ වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා තවදුරටත් වර්ජනය ක‍්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
කෙසේ වෙතත් දුම්රිය සේවක වැටුප් ප‍්‍රශ්නය විසඳීම සඳහා
විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් අද (01 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත් කරන බව එම අනු කමිටු සාමාජිකයින් වෘත්තිය සමිති නියෝජිතයින්ට පොරොන්දු වී ඇත.

දින පහක දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් රුපියල් කෝටි 11 ක පමණ ආදායමක් දුම්රිය දෙපාර්තමෙන්තුවට අහිමි වී ඇතැයි දෙපාර්තමේන්තු

ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මෙම ආදායම අහිමි වී ඇත්තේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සහ ඉන්ධන ප්‍රවාහනය නතර වීම හේතුවෙනි.

මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට අමතරව කටුනායක ගුවන්තොටුපොළ, මඩකළපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, අනුරාධපුර යන ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරිමෙන් දෙපාර්තමෙන්තුව දෛනිකව ආදායම් ලබන බවත් වර්ජනය ආරම්භ වූ ඉකුත් 24 දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඊයේ (30) දක්වා ගුවන්තොටුපොළට ඉන්ධන ප්‍රවාහනය හැර සෙසු ප්‍රදේශවලට ඉන්ධන  ප්‍රවාහනය කිරීම, ආසන වෙන්කිරීම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම හා භාණ්ඩ ප්‍රවාහනය ඇනහිට තිබුණු බවත් එම ආරංචි මාර්ග කියයි.

දින පහක දුම්රිය වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති පාඩුව සම්බන්ධව කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 16-17 ක පමණ ආදායමක් ලබන බවත් වර්ජනය නිසා එම ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී නැති බවත්ය.

වර්ජන කාලය තුළ දුම්රිය ස්ථානවලින් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ ද උප දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බව ද සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා කීය.  ඊයේ (30) දිනයේදී හලාවත, මහව, මහනුවර, කරුණෑගල, රඹුක්කන. වේයන්ගොඩ, අවිස්සාවේල්ල සිට දුම්රිය බැගින් ද ගාල්ල සිට දුම්රිය දෙකක් ද ධාවනය වූ අතර කොළඹ හා ගම්පහ අතර ද දුමිරිය දෙකක් ධාවනය වූ බව දෙපාර්තමේන්තුව පවසයි.  ඊයේ (30) පස්වරුවේ කොළඹ සිට පිට පළාත් දක්වා දුම්රිය 9 ක් පමණ ධාවනය කිරිමට සැලසුම් කර තිබුණි.