ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි හමුදා නිලධාරියෙකු රටේ නායකත්වයට සුදුසු වේදැයි යන්න ඇතැමුන්ට ප්‍රශ්නයක්ව ඇති නමුත් ලෝකයේ දියුණුවට පත්ව ඇති රටවල් බොහාමයකම
රාජ්‍ය නායකයන් ලෙස කටයුතු කර ඇත්තේත්, කටයුතු කරනු ලබන්නේත් හමුදා නිලධාරීන් බව හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ගම්පහදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතීඥ සංගමයේ ගම්පහ අධිකරණ බල ප්‍රදේශ ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වූ රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

නීතිඥ සංගමයේ ගම්පහ ශාඛා සභාපති නීතිඥ තුසිත සෙනරත් මහතා මුලසුන හෙබවූ මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයා රත්නායක මහතා,
 " ලෝකයේ ජයග්‍රහණ ගතහොත් උදාහරණයක් ලෙස ඇමෙරිකාව ගත්තොත් එහි හිටපු නායකයන්
46 දෙනකුගෙන් 33 දෙනෙකුම හමුදාවල නිලධාරීන්, යුද්ධ කරපු අය. ඒ රටවල ඒ නායකයන් විදිහට පත්කර ගත්තේම හමුදාවල අය, ඊශ්‍රායලය ගත්තොත් එලෙස දියුණු වුණු රටක්. එහි සියලුම දෙනා හමුදා නායකයන්. ඒ රටේ අදත් ඉන්නේ හමුදා කමාන්ඩෝ කපිතාන වරයෙක්. සිංගප්පූරුව ගත්තත් එහෙමමයි. දකුණු කොරියාව, තායිලන්තය වැනි දියුණු රටවල පවා නායකයන් හමුදා පසුබිමක් ඇති අය.ලෝකයේ විශාල පිරිසක් සිටිනව, හමුදාවේ සිට රටවල නායකයන් වූ අය.

කරු ජයසූරිය මහත්තයත් හිටපු හමුදා නිලධාරියෙක්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් හමුදාව සේවය කළ කෙනෙක්. ඒ වගේම මෙරට හිටපු අගමැතිවරයෙකු වන සර් ජෝන් කොතලාවල මහත්තයත් හමුදාවේ හිටපු ජෙනරාල්වරයෙක්. ඒ නිසා හමුදා පුහුණුවක් සහ අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙක් කියන ශක්තිමත් වගේම පෞරුෂයක් ඇති කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙත් ඒ වගේ ශක්තිමත් පුද්ගලයෙක්.

රටක නායකයකු වශයෙන් කරුණු තුනක් සපුරාලිය යුතුයි. රට සහ භූමිය පිළිබඳව අවබෝධය. ලෝකයට සමග කටයුතු කිරීම සහ පූර්වාදර්ශ නායකයෙකු වීම, ගෝඨාභය රාජපක්ෂ මහතා මම දිගු කලක් ඇසුරු කළ කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඔහු තුළ පවතින උසස් අවබෝධය සහ දැනුම පිළිබඳව.

අද ඇතැමුන් කියනව, ගෝඨාභය හොඳයි. නමුත් වටේ ඉන්න අය සමග ගමනක් යා හැකිද කියලා. ඇයි බැරි එදා යුද්ධය කළේ පිටස්තරයන් ගෙනැල්ලද? ඒ වගේ සෑම අංශයකම සහාය ලබාගෙන තමයි කටයුතු කරන්නෙ, අවශ්‍ය නිසියාකාරයෙන් නායකත්වය ලබා දෙමින් සාර්ථකත්වය කරා යාමයි. අද වන විට මේ රට පත්ව ඇති තත්වයන් මුදවා ගැනීමට නම් ගෝඨාභය රාප්පක්ෂ මහතා වගේ රට ගැන සිතන නායකයෙක් පත් කරගත යුතුයි." යැයි පැවසීය.

මෙහිදී පොදු ජන පෙරමුණ නීතිඥ සංගමයේ ගම්පහ ශාඛා සභාපති නීතිඥ තුසිත සෙනරත්, ස්නාධිපති නීතීඥ වීරරත්න, ශාඛා අනුශාසක නීතිඥ තිස්ස ගුණවර්ධන, නීතීඥ චන්දන ගුණතිලක ගුණවර්ධන, නීතීඥ ජයන්ත බණ්ඩාරනායක යන මහත්වරුද අදහස් දැක්වූහ.


- ගම්පහ තිලකරත්න දිසානායක