ලබන නොවැම්බර් 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ලබන 07 වන දා ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම වළක්වන
නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසයි.
2015 ජනවාරි 08 වන දා පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත්කරනු ලැබුවේ වසර 6 ක කාලයකට වුව ද, ඔහුගේ ධුර කාලය වසර 5 ක් ඉක්ම වූ වහාම රටේ ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව මෙත්සිරි ද සිල්වා මහතා පෙන්වා දී තිබේ.
එබැවින් පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.