අප රටේ මීළඟ ජනපති තෝරා ගැනීම සඳහා ප්‍රකාශයට පත් කොට ඇති ජනපතිවරණයට බුරුතු පිටින් අපේක්ෂකයන් ඉදිරිපත් වීම වහාම සංවාදයට බඳුන් කළ යුතු බවත් මෙවැනි හාස්‍ය ක්‍රියා
වැළැක්වීමට නව නීති සම්පාදනය කිරීම මීළඟට පත් වන රජයක මූලික කාර්යභාරයක් විය යුතු බවත් රත්මලාන ධර්ම පර් යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පවසති.

රටක සලකුණ හා සමාන ජනපති තනතුර සඳහා පදනම් විරහිතව සුළභ වශයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වීම එම රට හා එහි ජනතාව
විහිළුවට සහ හෑල්ලුවට ලක් කිරීමක් බවද උන්වහන්සේ අවධාරණය කරති.

හෑගොඩ විපස්සී හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

වාර්තා වන ආකාරයට මේ වන විට ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයන් විසි දෙනෙකු පමණ ඉදිරිපත් වී සිටිනවා. ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ඇප මුදල් ප්‍රමාණය වැඩි කොට හෝ නව නීති සම්පාදනය කොට හෝ ගොඩනැගෙමින් තිබෙන මෙම නව ප්‍රවණතාව වහාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

මේ අපේක්ෂකයන් වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වරප්‍රසාද ගැනීම , ඡන්ද පත්‍රිකා මුද්‍රණය, විද්‍යුත් මාධ්‍ය, ලිපි හුවමාරුව වැනි දේ සඳහා විශාල මුදලක් වැය කරන්නට වෙනවා. මෙය විහිළුවට නොගත යුතුයි. පොඩි උපකල්පනයක් කරන්න ඊළඟ ජනපතිවරණයට විසිපන්දහසක් දෙනා ඉදිරිපත් වෙනවා. එවිට ඇති විය හැකි තත්ත්වය කුමක්ද? කියා ඔබම විමසා බලන්න. ඇතැම් විට මේ බොහොමයක් දෙනා ගෙදරක්, ආයතනයක්, පන්සලක්, කෝවිලක් පාලනය කර ගන්න බැරි පිරිසක් විය හැකියි.


••ජීවන්ත හෙට්ටිආරච්චි - පානදුර