රුපියල් කෝටි දෙකකට අධික  වටිනාකමකින් යුත් දේපළක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට  අදාළව අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා
විතානගේ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහත්මිය  ඊයේ (30) නියෝග කළාය.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මාර්ගයෙන් මෙම  සැකකරු වහාම අත්අඩංගුට ගෙන
අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට
එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ට ඇත. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යූසූෆ් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරු කිසිදු  සාධාරණ හේතුක් නොදක්වා වාර දෙකකදිම අධිකරණයේ පෙනී නොසිටි  බැවින් මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසය.

සැකකාර පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින් ඔහුගේ ඇපකරුවන් වන මවත් පියාත්
අධිකරණයේ පෙනී සිටින බවත්ය. මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නීතිය හදන තැන සිටින මන්ත්‍රීවරයකු නීතියට ගරු කළ යුතු බවත් එසේ නීතියට ගරු නොකර ප්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් ඇන්දවීමට කතා කිරීම පුදුම සහගත බවත්ය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසට නීතිඥ ශිරාස් යූසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරිවරයා මගින් සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙය ඇඹිලිපිටිය පොලිසියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල  ඇඹිලිපිටිය පොලිසිය වෙත කර තිබුණේ කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍රන් නමැත්තාය.  ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් දේපළක් මෙම සැකකරු සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පැමිණිල්ල සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

-ජයන්ත නානායක්කාර-