රුපියල් කෝටි දෙකකට අධික  වටිනාකමකින් යුත් දේපළක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට  අදාළව අධිකරණයේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා

විතානගේ මහතා අත්අඩංගුවට
ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහත්මිය  ඊයේ (30) නියෝග කර තිබූ අතර අද ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නට භාරවී අධිකරණයට ඉදිරිපත්විය.
කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට පත්වී පැය කිහිපයක් තුළ නැවත අධිකරණය මගින් ඇප මත නිදහස් කර තිබේ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල  ඇඹිලිපිටිය පොලිසිය වෙත කර තිබුණේ කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍රන් නමැත්තාය.  ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් දේපළක් මෙම සැකකරු සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පැමිණිල්ල සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත අද අධිකරණයෙන් ඇප මත නිදහස් විය.
ජම්පර ඇන්දවීමේ කතාවක් නිසා මොහු පසුගිය සතියේ ප්‍රකට විය.