ටෙලිනාට්‍ය මෙන්ම සිනමා මාධ්‍ය තුළද සිය රංගන කාර්ය සිදුකරන ඔහු, ඉසුර ලොකුහෙටිටිආරචිචිය. ඔහු රංගන දායකත්වය ලබාදෙන හුස්ම සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙයි. එය නිමිති කර ගනිමින් මේ කතාබහ ඔහු සමගිනි.

මේ දිනවල තිරගත වන 'හුස්ම' සිනමා නිර්මාණයේ ඔබගේ රංගන දායකත්වය ගැන මුලින්ම කතා කරමු?
දින පහළොවක් එක දිගට එකම දර්ශන තලයක් තුළ
මෙහි රූපගත කිරීම සිද්ධ වෙන්නේ. පැය තුනක් තුළ සිදුවන සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතාව බවට පත් වෙන්නේ. චරිත  හතරක් එක දර්ශන තලයක්, රෝහලක මෝචරියක් තුළ සිදුවන කතාවක් තමයි මීට පාදක වෙන්නේ. මම මේ  සිනමා නිර්මාණයේ පිටපත කියවද්දි මෙහි සිටින රුවන් කියන චරිතය මට ගොඩක් දැනුණා. ඒකයි මම මේ චරිතය භාර ගත්තේ. මේ චරිතය ආන්දෝලනාත්මක චරිතයක්. පිටපත තුළ තිබූ සිදුවීම් එක්ක බැලුවම එහි අභියෝගයක් තිබුණා. වැඩක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අවදානමක් ගන ඕන. රුවන් කියන චරිතය තුළ හොඳ රංගනයක් කරන්න අවස්ථාවක් තිබුණා.

ඒ නිසා මම ඒ ගැන දෙපාරක් හිතුවේ නැතුව මේ අවස්ථාව ගත්තේ, රුවන් කියන චරිතයට ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහෝදර රංගන ශිල්පීන්ගෙන්, අධක්ෂවරුගන්, ප්‍රේකෙයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මේ චරිතය භාර ගැනීම ගැන මම සතුටු වෙනවා. මෙවර පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලට මේ චිත්‍රපටය යොමු කළා. එහි මේ චිත්‍රපටය අවසන් චිත්‍රපට පහ අතරට පැමිණියා. ඒ ගැන සතුටුයි.

 "හුස්ම" සිනමා නිර්මාණය තවත් සිනමා නිර්මාණයක් ඇසුරින් ගොඩනැගුණු නිර්මාණයක් ලෙස නිර්මාණ කිරීම ඔබ දකින්නේ කෙලෙසද?
මේක කොපියක් කියලා හඳුන්වන්න මම කැමති නැහැ. කොපි කියලා දෙයක් නැහැ, ලෝකේ මිනිස්සුත් කොපි තමයි. විද්‍යාව මෙතරම් දියුණු යුගයකත් පුනරුප්පත්තියක් තමයි සිද්ධ වෙන්නෙ.මං වගේ කෙනෙක් මීට පෙර මේ ලෝකේ ඉඳලා තියනවා කියලා මම හිතනවා. මේක සිනමා නිර්මාණ කිහිපයක් වූ කෘතියක්. ඒ කෘතිය ආශ්‍රයෙන් ලංකාවට උචිත ලෙසින් මෙය ප්‍රතිනිර්මාණය වුණා. ධර්ම යුද්ධය සිනමා නිර්මාණය බලන්න. එය ලංකාවට උචිත ලෙස ප්‍රතිනිර්මාණය කළා. සාර්ථකව තිරගත වුණා. ලෝකේ විවිධ භාෂාවලින් මේ නිර්මාණය නිර්මාණය වෙලා තිබෙනවා.

 'වැඩිහිටියන්ට පමණයි' කියන ලේබලය යටතේ තමයි මේ නිර්මාණය තිරගත වෙන්නේ. ඒ ගැන කතා කළොත්?
මේ කතා තේමාව පටන් ගන්නේ මළමිනියක දර්ශනයකින්, මේ මළමිනිය සිටින්නේ නිරුවතින්. ඒ තුළ මේ  නිර්මාණය "වැඩිහිටින්ට පමණයි' නිර්මාණයක් බවට පත් වෙනවා. මේ නිර්මාණය කුතුහලය, ත්‍රාසය, භීතිය තියාගෙන යන නිර්මාණයක්. ලිංගිකත්වයම උත්කර්ෂයට නගන නිර්මාණයක් නෙමෙයි. මගේ රංගන දායකත්වය පැත්තෙන් කතා කළොත්, මම රාමුවකට කොටුවුණු රංගන ශිල්පියෙක් නෙමෙයි. ටෙලිනාට්‍ය නිර්මාණ ඇතුළේ යම් විදිහකින් සිද්ධ වුණත් සිනමාව තුළත් ඒ දේම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒහම කියලා බාල විදිහට ලිංගිකත්වය පෙන්නා ලාභ හොයන තුට්ටු දෙකේ වැඩිහිටියන්ට පමණයි කියන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. නිරුවත හෝ ලිංගික දර්ශනයක් නිර්මාණය ඉල්ලා සිටිනවා නම්, එය අවශ්‍ය වෙනවා නම් එය අපිට කරන්න වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන දර්ශනයක් වුණත් නිර්මාණයට අවශ්‍ය නම් කරන්න සිද්ධ වෙනවා. ඒක මම කරනවා. ලංකාවේ සිනමාව තුළ කොකේන් පාවිචිචි කළ පළමු රංගන ශිල්පියාත් මම.
මේ නිර්මාණයේ මම එය සිදු කරනවා.


මේ නිර්මාණය සිනමා ප්‍රේක්ෂකාගාරය භාරගත්ත ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?

මේ වනවිට මේ සිනමා නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මේ පළමු සතිඅන්තය. වාණිජ චිත්‍රපටයක් සමග මේ නිර්මාණය කුමන මොහොතේවත් අපිට සංසන්දනය කරන්න හැකියාවක් නැහැ. "වැඩිහිටියන්ට පමණයි” කියන ලේබල්එක අලවපු ගමන්ම ගෙදර ඉන්න 18ට අඩු පිරිස මේ සිනමා නිර්මාණය නරඹන්න එන්නේ නැහැ. අම්මට තාත්තට එන්න බෑ ළමයි නිසා. මේ විදිහේ බැරියර් එකක් නිර්මාණය වෙනවා. වැඩිහිටියන්ට පමණයි කියලා අපි සිනමාව තුළ ගැප් එකක් හදාගෙන ඉන්නවා  'දරුවෙකුට ලිංගික දර්ශනයක් බැලිය යුතු නැහැ, ඔවුන්ගේ මනස විකෘතිවෙන්න පුළුවන් කියන අදහසේ අපි ඉන්නවා. ඒ තුළ තමයි සිනමා නිර්මාණ මෙලෙස වර්ගීකරණය වෙන්නේ. ඒ නිසා මේ නිර්මාණයේ ප්‍රේක්ෂකාගාරයට යළි බැරියර් එකක් තිබෙනවා. නමුත් මෙවැනි නිර්මාණයක් භාරගන්නා බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ ඉන්නවා. වාණිජමය සිනමාවේ නිර්මාණයක් ලබන ලාභය බලාපොරොත්තුවෙන් කළ නිර්මාණයක් නෙමෙයි මේක. කලාත්මක නිර්මාණයක්,මැද මාවතේ නිර්මාණයක්. මම හිතන්නේ මේ නිර්මාණය ප්‍රේක්ෂකාගාරයට අලුත් අත්දැකීමක් බවයි.

 "නිදහසේ පියා ඩීඑස්" සිනමා නිර්මාණයට පසුව තමයි ඔබ රංගනයෙන් දායක වූ සිනමා නිරිමාණයක් තිරගත වෙන්නේ. තවත් නිර්මාණ කිහිපයක්ම මේ සමග තිරගත වීමට නියමිතයි?

මම රංගනයෙන් දායක වන හතරවන සිනමා නිර්මාණය මේක. මේ වෙද්දි මම හුඟක් සතුටින් ඉන්නේ. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ, නිහාල් විජේසිංහ නිෂ්පාදනය කළ හුස්ම චිත්‍රපටය පසුගිය 20 වැනිදා තිරහිත වීම ආරම්භ කළා. එළඹෙන 03 වැනිදා මම රංගනයෙන් දායක වන මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ 'රෂ්" සිනමා නිර්මාණය තිරගත වීමට නියමිතයි. ඉන්පසු නොවැම්බර් මාසයේ මම ප්‍රධාන චරීතයකින් දායක වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ "ප්‍රසිඩන් සුපර්ස්ටාර්' චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.මීළග සිනමා නිර්මාණ එකිනෙක වෙනස් චරිත දායක වෙන්න හැකියාව ලැබුණ. රංගන ශිල්පියක් ලෙස ඒ ලැබුණ අවස්ථාව හොදයි කියලයි මම හිතන්නේ.

මේ මොහොතේ ඔබ රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යය කිහිපයකුත් විකාශය වෙනවා. ඒ ගැනත් සඳහන් කළොත්?
තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන, අසංක සායක්කාර තිර රචනය කරන 'නෝ පාකිං' ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙනවා. වැරැදි තැන්වල නතරවුණු ජීවිත ගැන කතා කරනවා. සිරස නාළිකාවේ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන "ඔබ නිසා' ටෙලිනාට්‍යය විකාශය වෙනවා.හිරු නාළිකාවේ රවීන්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන 'හුස්මක් තරමට' ටෙලිනාට්‍යය විකාශය වෙනවා.
මේ දිනවල 'රාවණ' දෙවැනි අදියර රූගත කිරීම් සිදුවනවා.

සාකච්ඡාව - නිදුක් මදුෂික
https://gallery.gossiplankanews.com/film/husma-film-premiere.html
Pix By -Indika Mallawarachchi