වඳවීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන කසු මෝරුන් කිලෝග්‍රෑම් 04 ක් ඇල්ලූ ධීවරයින් පස් දෙනකු වාලච්චේන වරාය පරිශ්‍රය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.මෙම ධීවරයින් මරන ලද කස මෝරුන් යාත්‍රාවකින් වරාය පරිශ්‍රයට රැගෙන එමින් සිටියදී පෙරේදා (29)
පස්වරුවේ නාවික හමුදාව
හා වෙරළ වෙරළාරක්ෂික දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඇලෝපිඩේ කුලයට අයුත් කස මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ධීවරයින්ට හෝ විනෝදයට ඇල්ලීම තහනම් කර ඇති බව නාවික හමුදාව පවසයි. අත්අඩංගුවට ගත් ධීවරයින් වයස අවුරුදු 27 ත් 40 ත් අතර මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ මරණ ලද කස මෝරුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වාලච්චේන ධිවර පරික්ෂක වෙත බාර දීමට කටයුතු යොදා ඇති බවත් නාවික හමුදාව සඳහන් කරයි.

කිසිවකු මියගිය කස මෝරකුගේ සිරුරක් හෝ සිරුරක කොටසක් බෝට්ටුව තුළ තබා ගැනීම වෙනත් බෝට්ටුවකට මාරු කිරිම ගොඩබෑම, ගබඩා කිරිම විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නීති විරෝධී බව ද නාවික හමුදාව පවසයි.

-ඉන්දිකා රාමනායක-