වාහන අමතර කොටස් ගෙන්වන  කොටහේන ප්‍රධාන පෙළේ ආයතනයකින් රුපියල් ලක්ෂ 80 කට අධික වටිනා වාහන අමතර කොටස් සොරාගෙන පිට පළාත්වලට අලවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෝ 6 දෙනෙක් කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මොවුන් මේවා රුපියල් ලක්ෂ ගණන් වූ මුදලට වෙනත් වෙළෙදසල් වෙත අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.

මෙම පිරිස අතර සේවයෙන් ඉවත් කළ සේවකයකු සිටින බවත් ඔහු ඉකුත් ජනවාරි මස සිට මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම සේවකයා මුදල් සොරකමක් සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස  සේවයෙන් ඉවත් කර ඇති බවත් පසුව ඔහු වෙනත් පුද්ගලයකු යොදාගෙන රාත්‍රි කාලයේ මෙම ආයතනයට වහලින් බස්සවා මෙම සොරකම් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

ආයතනයේ තිබූ වටිනා ජංගම දුරකතන දෙකක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය සිදුකළ පරීක්ෂණයේ දී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබුණි. ආයතනය නව සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකිරීමෙන් පසු එක් දිනෙක රාත්‍රියේ පුද්ගලයකු වහලෙන් ඇතුළු වී ජංගම දුරකතන දෙක හා තවත් භාණ්ඩ හා සොරා ගන්නා අන්දම සී.සී.ටී.වී. කැමරාවේ පටිගත වී ඇති අතර ඒ අනුව පරීක්ෂණ පවත්වා සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරකම් කළ වාහන අමතර කොටස් ආයතනයේ සේවකයා අලෙවි නියෝජිතයකු වශයෙන් පෙනී සිටිමින් වාහනවල පටවා මාතර, නුවර, ඇඹිලිපිටිය, ජා ඇල ඇතුළු ප්‍රදේශ රැසකට වෙළඳසල් වෙත අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. සොරාගත් එම වාහන අමතර කොටස් හා ජංගම දුරකතන දෙක පොලිසිය විසින් සොයාගෙන තිබුණි.


-ඉන්දිකා රාමනායක-