ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට දැඩි පොලිස් ආරක්‍ෂාව යෙදවීමටත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන්
වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගන්නා බවද ඒ මහතා කීය.

ජනාධිපතිවරණයේදී හොර ඡුන්ද දමාගෙන ඡුන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම ඇතුළු මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට කිසිවකුට ඉඩ නොමැති බවත් මහින්ද දේශප්‍රිය මහතා ප‍්‍රකාශ කළේය.

මෙම මැතිවරණයේදී නීති උල්ලංඝනය කර හෝ ජයග‍්‍රහණය කිරීමට කිසියම් අපේක්‍ෂකයකු ආධාරකරුවන්, දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් උත්සාහ ගන්නේ නම් එම වංචා අල්ලා ගැනීම සඳහා ඡුන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානවලට දැඩි පොලිස් රැකවරණය මෙන්ම ආරක්‍ෂක කැමරා පද්ධති ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනවලට මෙන්ම සියලූම නගරවලට විශේෂිත රැකවරණයක් යොදවන බවද ඔහු කීවේය. මේ පිළිබඳව ආරක්‍ෂක වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු සාකච්ඡා කරගෙන යන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.

නෝමන් පලිහවඩන