සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට සියලු දේශපාලන පක්ෂ හා නියෝජිතයන් එකඟ වීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සිය සතුට පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
2019 ජනාධිපති මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර ඇති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (02දා) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පවසා සිටීයේය.පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් දහදෙනෙකු ඊයේ දිනය වනවිට නාමයෝජනා සදහා ඇප තැන්පත් කර ඇති අතර, හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහදෙනෙක් ස්වාධීන අපේක්ෂකයන් ලෙස හා ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂයක අංශයක් වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමීෂන් සභාව හා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ඇප තැන්පත් කරන ලද නියෝජිතයන් සමග ඊයේ දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී නාමයෝජනා භාර ගැනීමට අදාළ කටයුතු, රථවාහන සැලැස්ම, නාමයෝජනා ශාලාවට ඇතුළු වන තැනැත්තන් පිළිබඳ තොරතුරු ඔවුන් වෙත දැනුම් දී තිබිණි.ඡන්ද විමසීමේදී ප්රචාරක කටයුතු සදහා ඡන්ද කාර්යාල නීතිරීති, විධිවිධාන පිළිබඳ මෙහිදී පැහැදිලි
කෙරුණු අතර, දැනට ප්‍රදර්ශනය කර ඇති ප්රචාරක පුවරු ස්වේච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. 2019 ඔක්තෝබර් 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පසු සියලු ප්රචාරක පුවරු ඉවත් කිරිමට කටයුතු කරන ලෙස පොලීසියට දන්වන ලදී. මෙම අවස්ථාවට මැතිවරණය
කොමිෂන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර, මැතිවරණ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.