දුම්රිය වර්ජනය නිසා අගතියට පත්ව සිටින ජනතාව ගැන රජය ලෙස තමන්ට කිසිවක් කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඊයේ පස්වරුවේ එම අමාත්‍යනාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී
දුම්රිය වර්ජනය නිසා එහි වාර ප්‍රවේශපත්‍ර මිලට ගෙන සිටින ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. "මේක විශාල ප්‍රශ්නයක්. ඒත් එම මුදල් නැවත ගෙවන්න විදියක් නැහැ.
 ඒ ගැන මුදල් අමාත්‍යවරයා විදියට මට දැනට උත්තරයක්
දෙන්නත් බැහැ."   අමාත්‍යවරයා පැවසීය.එසේම, අද වනවිට මෙම දුම්රිය වර්ජනය පොහොට්ටුව සිය දේශපාලනය ආයුධයක් බවට පත් කරගෙන ඇති බවත්, ඒ පිළිබඳ සාක්ෂි වර්ජනයේ නිරත පිරිසගේ ෆේස්බුක් පිටුවල පවා සටහන්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය, මේ අතර, මාධ්‍ය හමුව මුලදී අදහස් දැක්වු මුදල් අමාත්‍යවරයා, දැනට අධික පාඩුවක් ලබා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම තත්ත්වයට පත්වීම සඳහා පැවැති මහින්ද රාජපක්ෂ රජය මගින් එය රජයට පවරා ගැනීම මූලිකවම හේතු වූ බවත් පවසා සිටියේය. එහිදී එමිරේට්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය  යලි රජයට පවරාගැනීමක් සිදු කළේ එහි ව්‍යාපාරික පන්තියේ ආසන මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමග පැමිණි පිරිසට නිකුත් නොකිරීම නිසා බවද පැවසීය.
"අපේ හිටපු මුදල් ඇමතිවරයා, ජනාධිපතිවරයා පිටරට ගිහිල්ලා එතුමගේ මිත්‍රයන් සමගින් යළිත් ලංකාවට එන්න ඕන වෙලා හදිස්සියේ, ශ්‍රී ලංකන් ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ සියලුම ආසන ඒගොල්ලන්ට වුවමනායි කියලා කිවිවා. එවකට හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විධායක නිලධාරියා  කිව්වා,ඒක දෙන කොහාමද සර්. මේ යානයේ අද ඉන්නේ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවලා යන මගීන්, මම ඒ අය අවලංගු කරන්න ගියොත් ඒ අය අපේ ආයතනයට විරුද්ධව නඩු දාවි කියලා."අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
  - භානුක අමරසිංහ-