ලබන නොවැම්බර් 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම
විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කරන්නට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි.
පෙත්සමෙන් ඉල්ලා තිබුනේ ලබන 07 වන දා ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම වළක්වන
නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසයි.
2015 ජනවාරි 08 වන දා පැවති ජනාධිපතිවරණයේදී
මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත්කරනු ලැබුවේ වසර 6 ක කාලයකට වුව ද, ඔහුගේ ධුර කාලය වසර 5 ක් ඉක්ම වූ වහාම රටේ ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව මෙත්සිරි ද සිල්වා පෙන්වා දී තිබුණි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
කෙසේ වෙතත් 19 වන සංශෝධනය ප්‍රකාරව මෙම වසර ගණන 5 ට අඩුවූ නිසා මෙවර ජනපතිවරණය 2019 අග පැවැත්වීමට අවශ්‍ය බව මින් ඉහත අධිකරණය විසින්ද තීන්දු කර තිබුණි. මෙම කරුණු මත පෙත්සම විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කරන්නට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි.