මීගොඩ පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටුවක සභාපතිවරයකු සහ පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග වැදුණු අපේක්‍ෂකයකු බව කියන පුද්ගලයකු
ඔහුගේ නිවසේ කාමරයක් තුළ කසිප්පු පෙරමින් සිටියදී ඊයේ (30) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මිගොඩ පොලිස් ස්ථානයට නව පත්වීමක් ලබා පැමිණි පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවසට ගොස් ප්‍රශ්න කිරිමේදි සැකකරු එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ නිවස සෝදිසි කිරිමේදී එක් කාමරයක් තුළ කසිප්පු පෙරමින් සිටි බව ද පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු සමඟින් ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක් තඹ දහරයක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සහ මත්පැන් ප්‍රිතු බෝතල් තුනක්ද අත්අඩංගුවට ගත් බවද  පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් මෙම සැකකරු ස්ථිර රැකියාවක් නොමැති පුද්ගලයකු බවත් සමාජ සේවකයෙකු මෙන් පෙනී සිටිමින් එම සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වයස අවුරුදු 35ක අයෙකු බවත් සැකකරු සහ මත්පැන් උපකරණද සමහර හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. මිගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ මහතා සමඟින් උප පොලිස් පරික්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරිහු වැටලීම සිදු කළහ.

-බුද්ධික කුමාරසිරි-