මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් අයුතු යෝජනා කළ බව කියන නාවික භටයකු
ඊයේ (23 වැනිදා) මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි නාවික භටයකු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු මීට දින කිහිපයකට
පෙර කොස්තාපල්වරියන් කිහිප දෙනකුටම රාත්‍රී කාලයේ දුරකතනයෙන් ලිංගික යෝජනා කර ඇති බවට ලැබී නිබූ පැමිණිල්ලක් අනුව ළමා හා කාන්තා කාර්යාංශය පරික්ෂණ ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තාකර දුරකතන අංග ඔස්සේ  පරික්ෂණයට සිදුකිරීමේ දී සැකකරු සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය කරගෙන ඇත.ඒ අනුව මෙම සැකකරු ඊයේ ළමා හා කාන්තා කාර්යාංශයට කැදවා  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරුගේ පෙම්වතිය  නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරියක බවත් සැකකරු ඇය හමුවූ අවස්ථාවල ඇගේ ජංගම දුරකතන පරික්ෂා කර එහි ගබඩා කර ඇති ඇගේ මිතුරු කොස්තාපල්වරියන්ගේ අංක සටහන් කරගෙන පසුව ඔවුන්ට මෙසේ ඇමැතුම් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.  සැකකරු අද (24) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි. මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය  සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

-ඉන්දිකා රාමනායක-