ලොව පිසූ ආහාර අපතේ යවන රටවල් අතර ලංකාව ඉදිරියෙන් සිටින බවත් බස්නාහිර පළාත තුළ සක්‍රිය මට්ටමේ ඇති කුණු කදු විසි එකට නාගරික ජනාවාස තුළින් දිනකට පරිසරයට මුදාහැරෙන ඉඳුල් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සීයක් හයසීයක් පමණ වන බවත්
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා  පැවසීය. එසේ මුදාහැරෙන කසළ මාසිකව ගණනය කළහොත් ඉඳුල් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දහඅටදහයකට ආසන්න ප්‍රමාණයක් පමණ වන බව මාන්නප්පෙරුම  මහතා පැවසීය.
දිනකට කුණු කඳුවලට
මුදා හැරෙන ඉඳුල් අපද්‍රව්‍යයන්ගෙන් දිනකට ප්‍රතිචක්‍රීකරණය වන ඉදුල් ප්‍රමාණය ටොන් 100ක් බව පෙන්වා දෙන ඒ මහතා කුණු කඳු මත සෑදෙන මීතෙන් වායුව කුණු කඳු ගිනි ගැනීමට හේතුවක් බව පැවසීය. උයාගන්න බත් මුට්ටිය අපතේ  නොයන ලෙස කළමනාකරණය කරනවා නම් අඩු වශයෙන් ඉඳුල් කුණු ගොඩට නොදා සතෙකුට හෝ ලබාදීමෙන් කුණු කන්දට එන ඉඳුල් ප‍්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට නම් ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු යයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පැරැන්නන් භාවිත කළ ඉතුරුම්  බත්වලින් අග්ගලා හදන පුරුදු අද දක්නට නොමැති බව පෙන්වාදෙන ඒ මහතා උදෑසන උයා ගත්තා බත් හැළිය සහ  මස් තලිය කෙලින්ම එන්නේ කුණු ගොඩට බව පැවසීය.ඇතැ අය මංගල  උත්සවයකට හෝ දානේ ගෙදරක ගියත් තමන්ට කන්න බැරි තරමට බෙදාගන්නා බවත් තම දරුවන්ට පවා කන්න බැරි තරම් කෑම බෙදා අවසානයේ ඉඳුල් ලෙස විසිකරන ආහාරවලින් කුණු කඳ නිර්මාණය වන බව ඔහු පැවසීය.

පිසු ආහාර නිකන්ම කුණු ගොඩට යවනවා වෙනුවට සතෙකුට කන්න දැමීම, බෙදාගත් ආහාර විසි නොකර ආහාරයට ගැනීම, නිවසේ  සිටින ප්‍රමාණයට සරිලන්න කෑම පිසීම කසළ කළමනාකරණයට මනා පිටිවහලක් බව ද පැවසීය. කසළ කළමනාකරණය යනු කුණු ටික වෙන්කර කුණුගොඩ දැමීම පමණක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා නිවසේ මුදල් කළමනාකරණය මගින් ද කසළ කළමනාකරණය වන බව පැවසීය.

-රේඛා තරංගනී-