77න් පසුව මෙරට බලයට පැමිණි නව ලිබරල්වාදීන් කියන අය විසින් වෙසක් කූඩුවත්, සරුoගලයත් චීනයෙන් ගෙනෙන තත්ත්වයට මේ රට පත්කර, රට ආර්ථික අගාධයකට ඇද දමා ඇති බව  කොළඹ විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය, ඒ මහතා මේ බව පැවසුයේ මහනුවර දිස්ත්‍රික් වෘත්තියවේදීන්ගේ සංසදය මගින් සංවිධානය කළ සමිමන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමිණි. වත්තෙගම නගර ශාලාවේදී පෙරේදා (29දා) මෙය පැවැත්විණි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා,
"1948 දී නිදහස ගත්තට පස්සේ විවිධ අවස්ථාවන්වල දේශපාලන වෙනස්කම් ඇති වුණත් යම් ආකාරයකට දේශීය ආර්ථිකය දේශීය නිෂ්පාදනයට පදනම් වෙලා සකස් වෙලා තිබුණා. සමහර ව‍ෙලාවට අපි අවඥාවෙන් පෙන්වන. සහර වෙලාවට අපි හෙළා දැකලා කතා කරන,
පාන් කාල ගන්න පෝලීමේ හිටියා යැයි කියන, චීස් කෑල්ලක් දැක්කේ නෑ කිව්ව, ඇපල් ගෙඩියක් දකින්න නොතිබුණා කිවිව, භූමිතෙල් ගඳ ගහන සාරි ඇන්දා කිව්ව යුගය ඇතුළෙම රට ඇතුළේ දේශීය නිෂ්පාදනයන් කර ගන්න මිනිසුන්ව පොලඹවන තත්වයක් තිබුණා.

ඒහිදී දේශීය නිෂ්පාදන අගය කරමින් දේශීය නිෂ්පාදකයන්, දේශීය ගොවීන්, දේශීය කාර්මිකයන් ශක්තිමත් කර ඔවුන්ගේ ආදායම වැඩි කරන්න වැඩ කළා. රට තුළ වානේ නිපදවන වානේ සංස්ථාව හැදුවා. උදලු වගේ දේවල් හදන්න ලෝහ භාණ්ඩ සංස්ථාව හැදුවා. දේශීයව වයර් හදන ටයර් සංස්ථාවක් කියල එකක් හැදුවා. නමුත් මේ යුගය 1977දී කණපිට පෙරළුණා. 1977 දී නවලිබරල්වාදය කියන නැත්නම් දෝරේ ගලන්න දොරවල් ඇරල දුන්නු ආර්ථිකය මේ රටට හඳුන්වලා දුන්නා, එහිදී ලාබනම් රටේ ඒවා ඕන නෑ පිටින් ගෙනත් කාපන් කියන තත්ත්වයට පත්කළා. ඒක තමයි 1977 මොඩලය, මේක හොඳට ඇඟට දැනෙන්නේ
දේශීය නිෂ්පාදකයාට.

දේශීය ගොවියාට, දේශීය කාර්මිකයාට. අපි පොඩි කාලයේ සරුoගලය හැදුවේ අපි. වෙසක් කුඩුව හැදුවේ අපි. නමුත් දැන් ළමයි වෙසක් එකට වෙසක් කුඩු පත්තු කරන්නේ ඔවුන් හදපු ඒවා නෙවෙයි චීනයෙන් ගෙනාපු ඒවා. උඩ යවන සරුoගලය අපී හැදුව සරුංගලය නෙවෙයි. චීනයෙන් ගෙනව සරුoගල්. සරුoගලයත් චීනයෙන් ගේන්න රටක ආර්ථික තත්වය ගැන අමුතුවෙන් කියන ඕන නෑ. වෙසක් කූඩුවත් රටින් ගෙනෙන රටක ජනතාව නිකන් කකා බිබී කිසිදු නිෂ්පාදනයකට දායක වෙන් නැති ජාතියක් බවට පත්වෙලා.එහෙම රටකට ආර්ථික අනාගතයක් තියෙන්න බෑ, ඔය නව ලිබරල්වාදී ආර්ථික රාමුව තුළ හිතන අය හිතන පාරීභෝගිකයා වැඩියන් ගෙවන්නේ ඇයි කියලා.ඒත් අපේ රටේ නිෂ්පාදන කීයක් හරි වැඩියෙන් දීලා මිලට ගත්තත් ඒ මුදල මේ රටේ ගොවියාගේ නිෂ්පාදකයාගේ අතේ රැඳෙනවා. දැන් වෙන්නේ ඒ මුදල් සම්පුර්ණයෙන් පිටරටවල්වලට ඇදී යාම” යැයි පැවසීය,
මෙහිදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණස්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අංශයේ කථිකාචාර්ය මාධවී හේරත් යන මහත්ම මහත්මන් ඇතුළු කිහිප දෙනෙකුම අදහස් දැක්වූහ.


 මහනුවර මොහාමඩ් ආසික්