https://www.gossiplankanews.com/2019/10/pujith-jayasundara-arrested.html#more

 2.30 pm update
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධිය ගැන රහස් පොලිස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දහවල් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර නඩුව විභාග කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක  ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අනතුරුව නියෝග කළේය. නැවත 2020.01.08 වනදා අදාළ නඩුව කැඳවීමට නියමිතය.
12.30 pm
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අද (1) දහවල්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙසේ අත්අඩංගුවට ගන්නට හේතුවී ඇත්තේ
2017 වසරේදී

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු ලෙස සේවය කළ අබේකෝන් මුදියන්සේලාගේ සමරකෝන් මහතාට පහරදී, තර්ජනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙනි.
අත්අඩංගුවට පත්වූ පූජිත් ජයසුන්දර මහතා අද (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි සෝපාන
ක්‍රියාකරු ලෙස රාජකාරි කටයුතු සිදු කළ නිලධාරියකුට බැනවැදී පහරදීමට තැත් කිරීමේ සිද්ධිය 2017 වසරේ සීසිටීවී දර්ශන සමග මාධ්‍ය තුළ ආනේදෝලනයක් ඇති කරමින් ප්‍රචාරය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාකරු 01 ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලද අබේකෝන් මුදියන්සේලාගේ සමරකෝන් නමැති නිලධාරියා විසින් වත්මන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට 2019.06.02 දින සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කොට හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරා තිබුණි.
2017.04.11 සිද්ධිය සිදුවී ඇති අතර විදුලි සෝපාන ක්‍රියාකරු පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කසළ භාණ්ඩ ප්‍රවාහනය කරන විදුලි සෝපානය නතර කරන ලෙසට බල කර එම විදුලි සෝපානය නතර කිරීමට ක්‍රියා කරන අවස්ථාවේ “තෝව මකවනවා” “තෝ තියන්නේ නෑ”යනුවෙන් ප්‍රකාශ කරමින් ෂර්ට් කොලරයෙන් අල්ලමින් පහරදීමට හිටපු පොලිස්පතිවරයා තැත් කළ බවය.

ඊට අමතරව එදිනම උප පොලිස් පරීක්ෂකවරියකට හිටපු පොලිස්පතිවරයා පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර තිබුණු අතර ඇය විදුලි සෝපානය ක්‍රියාකරු සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරිය වන බවත් ඇය ඇතුළු තවත් නිලධාරීන් 6 දෙනකු සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස නම්කර තිබිණි.
“මගේ ඕඩරයට ක්‍රියා කරන්න දන්නේ නැද්ද” “මට වැඩිය ලොක්කෙන් ඉන්නවාද මෙතැන” කියා අසමින් හිටපු පොලිස්පතිවරයා අදාළ නිලධාරිනියට පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවද වාර්තාවේ දැක්විණි.
මෙම සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂකවරයාට යැවීමට අනවශ්‍ය බව පසුගිය 4 වනදා අදාළ නඩු විභාගය අතර මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටි අතර සාපරාධී බලහත්කාරය සහ සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජු සාක්ෂි ලෙස යොදාගත හැකි බවද මහෙස්ත්‍රාත්වරයා දන්වා තිබුණි.

මෙම නඩුව ලබන 9 වනදා නැවත කැඳවීමට පෙර පූජිත් ජයසුන්දර මහතාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ පූජිත් ජයසුන්දර මහතා අද (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.