සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි  Qandeel Baloch නමැති සුරූපී පාකිස්තාන යුවතියක 2016දී
මරා දැමූ ඇගේ සහෝදරයා හට එරට මුල්ටාන් පුර
අධිකරණයක් විසින් පසුගිය සතියේ ජීවිතාන්තය දක්වා
සිර දඬුවම් නියම කරනු ලැබීය. ක්වැන්ඩීල් බැලොක් නමින් පෙනී සිටි මෙම රූමතිය, ඇගේම සොයුරු මුහම්මද්
වසීම් විසින් ඝාතනය කරන ලද්දේ පවුලේ නම්බුව රැකගැනීම වෙනුවෙනි. පවුලේ නම්බුව වෙනුවෙන් මෙසේ
කාන්තාවන් ඝාතනය කිරීමේ පිළිවෙත පාකිස්තාන නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක් වීමට පවා
මෙම ඝාතනය හේතු විය.

නමුත් මෙම තීන්දුව පළ කිරීමෙන් ස්වල්ප වේලාවකට පසු වසීම්ගේ නීතිඥයා වන සර්දාර් මෙහ්බූබ්, තීන්දුවට
එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ. චූදිතයන් වූ තවත් සොහොයුරන් දෙදෙනකු
ඇතුළු 6 දෙනෙක් නි‍ෙදාස් කර නිදහස් කරනු ලැබූහ.

ක්වැන්ඩීල් බැලොක්  Qandeel Baloch නමින් පෙනී සිටියද ඇගේ සැබෑ නම ෆවුසියා අසීම් විය. මුහුණු පොත හරහා
ආන්දෝලනාත්මක ඡායාරූප සහ වීඩියෝ පළ කරමින් පාකිස්තාන ජනතාවගේ ආචීර්ණ කල්පික චෛතසිකය වෙනස්
කිරීමට ඇය උත්සාහ දැරුවාය. මේ නිසා නිරන්තරයෙන් මරණ තර්ජන සහ අපහාස විඳීමට ඇයට සිදු වූ
අතර ඒ කිසිවකින් පසුබට වූයේ ඇය නොවේ. සමාජ මාධ්‍ය තුළ සිය ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින්
නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය ඇතැමුන් විසින් හඳුන්වනු ලැබුවේ පාකිස්තානයේ ‘කිම් කාර්ඩේෂියන්’ ලෙසිනි.

(කිම්බර්ලි නොයෙල් කාර්ඩේෂියන් වෙස්ට් යනු ඇමෙරිකා මාධ්‍ය ලෝකයේ ජනප්‍රිය තාරකාවකි. නිරූපණ
ශිල්පනියක හා නිළියක වන ඇය ව්‍යාපාරික කාන්තාවක ද වෙයි. සිය පෙම්වතා වූ රේ ජේ සමඟ එක්වී
නිර්මාණය කළ සරාගී වීඩියෝ පටයක් එළිදැක්වීම නිසා විශේෂ අවධානයක් දිනාගැනීමට ඇය සමත් වූවාය.)

ක්වැන්ඩීල් බැලොක් ඝාතනය මුහුණු පොත තුළ පමණක් නොව පාකිස්තාන සමාජය පුරාද කම්පන රැල්ලක් හා
ප්‍රතිවිරෝධයක් ඇති කිරීමට සමත් විය. පවුලේ නම්බුව රැකගැනීම සඳහා කරනු ලබන ස්ත්‍රී ඝාතනයකදී,
එම ඝාතකයාට පවුලේ සාමාජිකයන්ගේ සමාව ලැබුණද දඬුවමින් ගැලවීමේ අවස්ථාව නොලැබෙන පිණිස
නීතිය දැඩි කළ යුතුය යන මතවාදය මෙම ප්‍රතිවිරෝධය හරහා රජය වෙත එල්ල වූයේය. සාමාන්‍යයෙන්
පාකිස්තානය තුළ වසරකට කාන්තාවන් 500ක් පමණ පවුලේ නම්බුවට දැලිගෑමේ වරදට ඝාතනය කරනු ලබති.