ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23 වැනිදා) තීරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවැරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ ණය හිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ද ෆිනෑන්ස් කම්පැනි ආයතනයේ පවතින මූල්‍ය දුර්වලතා සැලකිල්ලට ගනිමින් මහ බැංකුව මෙම තීරණයට එළැඹ ඇත. ආයතනය පවත්වාගෙන යාම සඳහා ආයෝජකයකු සොයා ගැනීමට
මහ බැංකුව ලබාදුන් කාලය තුළ ආයෝජකයකු සොයා ගැනීමටද ආයතනය අපොහොසත් වී තිබේ. මෙම ආයතනය තවදුරටත් පවත්වාගෙන යාමට හැකි වන්නේ විධිමත් ආයෝජකයකු මත පමණක් බව මහ බැංකුවේ අදහසයි. ආයතනය මේ වන විට රුපියල් මිලියන 200ක පමණ මාසික අලාභයක් ලබමින් පවතියි. මෙම තත්ත්වය මත ආයතනය තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව ඉදිරියට සිදුකෙරෙන බව පැවැසේ.

ආයතනය සම්බන්ධ ඉදිරි ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා සහයෝගිකව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

උදයජීව ඒකනායක