ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්දැයි යන පක්ෂිය නිල වශයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පැවසීය. මුලතිව්, කුමලමුනෙහිදී පෙරේදා (29දා) පැවැති ඉලංගෙයි තමිල් අරුසකච්චි
පක්ශයේ ජනහමුවකින් පසුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
 එහිදි මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ අසා සිටියේය.

"පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වී සිටින අමාත්‍ය

සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට සෘජුවම හා වක්‍රව ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම බලය බෙදීම් ක්‍රියාවලිය ඒකීය රාජ්‍යක් තුළ සිදු කිරීමට හැකියි කියලා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තියනවා කියලා දැනගන්න ලැබෙනවා. එවැනි වාතාවරණයකදී දෙමළ ජාතික සන්ධානය මොනවගේ
ස්ථාවරයකද ඉන්නේ" එහිදී පිළිතුරු දුන් මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

"අපේ අවසන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ම් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම තමයි උතුරට ආපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහත්වලදී එතුමන්ට ස්තුතිය පළ කරලා සහාය ලබාදීම සාමාන්‍ය දෙයක්. වෙනත් සහනයක් ලබාදෙන්නෙ තවත් ඇමතිවරු හෝ කවුරුන් හරි ආවත් ඔවුන්ටත් අපි ස්තුතිය පළ කරලා කතා කරනවා. නමුත් එවැනි අවස්ථාවකදී විවිධ අයට විවිධ මත පළකරන්න අවස්ථාව තියනවා. නමුත් ජනාධිපතිවරණයේදී අපේ අය විසින් කාටද සහාය ලබා දෙන්නේ හෝ කාටද සහාය පළ යුත්තේ කියල නිල අවසන් තීරණයක් මේ වන තුරුත් එළැඹ නැහැ. අපි සියලු අපේක්ෂකයන් සමග ඔවුන් කැමතිනම් සාකච්ඡා කරමු කියලයි අපි තීරණයක් අරන් තියෙන්නේ. එවැනි සාකච්ඡා කිහිපයක් මේ වනවිටත් පැවැත්ව‍ෙමින් තියනවා. ඒ සාකඡා සියල්ල අවසන් වූ පසු ඔවුන් ගන්නා තීරණයට අනුව අපි තීරණයක්ගන්නවා කවුද සුදුස්සා කියලා."
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි ස්නාධිරාජා මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්දරාසා
ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

වවුනියාව -මධුෂංඛ අමරසිංහ