මේ වනවිට මහජනතාවට පීඩාකාරී වර්ජනයක නියැළෙන දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කරනු ලැබ තිබේ.

රජයේ මුද්‍රණාලයාධිපති

ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එය මේ වනවිට මුද්‍රණය සඳහා සකස් කරමින් පවතින බවයි.

අද මධ්‍යම රාත්‍රියට පෙර දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළා ය.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාද දන්වා සිටියේය.
මෙලෙස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු වර්ජකයින්ට සේවාවට පැමිණිමට නීතිමය බලකිරීමක් ලැබෙන අතර එසේ නොවුණොත් අත්‍යවශ්‍ය සේවා පැහැරහැරීමේ චෝදනා මත රජයට ඔවුන්ගේ රැකියාවන්ට එරෙහි පියවර ගැනීමට හැකිවේ.
මෙම පියවර නිසා දුම්රිය වර්ජනය අද රාත්‍රියේ සිට අවසන් වන ලකුණු පහළවී ඇත.