බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් හිමිනමකට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා ඊයේ (06දා) වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය.

අගුණුකොළපැලැස්ස හැලේකඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරවාසීව සිටි 48 හැවිරිදි මෙම හිමිනම මෙසේ දඩුවම් නියම කෙරිණි. මීට අමතරව අගතියට පත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අගුණුකොළපැලැස්සේ පදිංචි
එකම පවුලේ බාලවයස්කාර අයියා මලෝ දෙදෙනෙකු රවටා අවස්ථා දෙකකදී බරපතළ අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකාර
චීවරධාරියාට එරෙහිව පැවැති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ සැකකාර හිමිනමට නඩු පවරා තිබිණි.
නඩු විභාගය ආරම්භයේදීම සැකකාර හිමියන් අදාළ චෝදනා සඳහා වරද පිළිගනු ලැබීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා මෙසේ  දඬුවම් නියම කළේය.

වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරුණි.
මීට අරව සැකකරුට රුපියල් 5,000 බැගින් රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් මාස හය බැගින් තවත් වසරක බරපතළ වැඩ සහිත සිරදඩුවමක්ද නියම කළේය. තවද වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකාර චීවරධාරියාට අධිකරණයේ රුපියල් 2,000ක මුදලක් තැන්පත් කරන ලෙස නියෝග කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් මාස 03ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක්ද නියම කෙරුණි.

රජයේ අධිනීතිඥ අග්බෝ පඩිතරත්න මහතා සමගින් අගුණුකොළපැලැස්ස පොලීසියේ සැරයන් ඩී.වී. ආරියරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.
    -සූරියවැව - නුවන් ජයසේකර-