2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 44 කට අධික (රු. මිලියන 44,022.67 ක) ශුද්ධ අලාභයක් සිදුවී ඇති අතර එසේම රුපියල් බිලියන 230 කට අධික (රු. මිලියන 230,590.07 ක) මුළු අලාභයක් එම සමාගම වාර්තා කර ඇති බවත් රජයේ විගණකාධිපති ඩබ්. පී. සී. වික‍්‍රමරත්න පවසයි.

 එසේම ඒ වනවිට සමාගමේ ජංගම බැරකම් ජංගම වත්කම් ඉක්මවා ඇති බවත් මුළු බැරකම් මුළු වත්කම් ඉක්මවා ඇති බවත් එම ඉක්මවීම් පිළිවෙළින් රුපියල් මිලියන 186,339.26 හා රුපියල් මිලියන 177,556.23 ක් බවත් රජයේ
විගණකාධිපතිවරයා කියයි.

 ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ 2018/19 වාර්ෂික වාර්තාවෙහි රජයේ විගණකාධිපතිවරයාගේ සටහනෙහි මේ බව දැක්වේ.

 තවද 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ශ‍්‍රී ලංකන් ගුවන් සමූහයට රුපියල් මිලියන 41,700.33 ක අලාභයක් සිදුවී ඇති බවත් ඒ අනුව රුපියල් මිලියන 223,488.73 ක සමුච්චිත අලාභයක් ඇති බවත් ඒ වනවිට සමාගමේ ජංගම බැරකම්, ජංගම වත්කම් ඉක්මවා ඇති බවත් මුළු බැරකම් මුළු වත්කම් ඉක්මවා ඇති බවත් එම ඉක්මවීම් පිළිවෙළින් රුපියල් මිලියන 177,725.40 හා රුපියල් මිලියන 168.111.70 ක් බවත් පෙන්නුම් කරන බව ද එහි සඳහන් වේ.

 මේ කරුණු සහ අනෙකුත් කාරණා සමග ප‍්‍රමාණාත්මක අවිනිශ්චිතතාවක් පෙන්නුම් කරන අතර එමගින් මෙම සමාගම් සමූහයේ අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක් මතුවිය හැකි බවත් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වේ.

 2019 අගෝස්තු 27 දින කැබිනට් අනුමැතිය සහ 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ව්‍යවස්ථාපිත විගණනය සඳහා ලබාගත් භාණ්ඩාගාර ලේකම් විසින් 2019 සැප්තැම්බර් 16 දින නිකුත් කරන ලද ලිපිය සැලකිල්ලට ගෙන ”අඛණ්ඩ පැවැත්මක්” ලෙස සිය මෙහෙයුම් දිගටම කරගෙන යෑමට ශ‍්‍රී ලංකා රජය සමාගමට දක්වන සහයෝගය සනාථ කරමින් මෙම මූල්‍ය ප‍්‍රකාශන සකස් කර ඇත්තේ අඛණ්ඩ පැවැත්ම උපකල්පනය උපයෝගී කර ගනිමින් බවත් මෙම කරුණු මත සිය නිගමනය තත්ත්වාගණනය කරනු නොලබනු බවත් විගණකාධිපති ඩබ්. පී. සී. වික‍්‍රමරත්න වැඩිදුරටත් සිය වාර්තාවේ දක්වා ඇත.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත