ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා නොදුන් තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකුට සහ 19න් පහළ කණ්ඩායමේ දස්කම් දක්වන ක්‍රීඩකයන් 07 දෙනෙකුට කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව අලුතින් කොන්ත්‍රාත් ගිවිසුමට හිමිකම් කියන ක්‍රීඩකයන් සංඛ්‍යාව 30කි.

එම ක්‍රීඩකයන් කාණ්ඩ කිහිපයක් යටතේ ඇමෙරිකානු ඩොලර් 10,000ක සහ 5,000ක වාර්ෂික දීමනාවක් යටතේ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වීමට නියමිත බව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු පැවසීය.

කොන්ත්‍රාත් ක්‍රීඩකයන් අතර ටෙස්ට් ක්‍රීඩකයන් 08ක් සහ එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 06ක් ඇතුළත්ව සිටිති. මිලින්ද සිරිවර්ධන, චාමර සිල්වා, සචිත්‍ර ස්නානායක, තරංග පරණවිතාන, අසේල ගුණරත්න, උපුල් තරංග, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර ඒ අතර වෙති.

මීට අමතරව කමිඳු මෙන්ඩිස්, අෂාන් ප්‍රියංජන්, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ ප්‍රියමාල් පෙරේරා යන ක්‍රීඩකයෝදා කොන්ත්‍රාත් ගිවිසුම හිමිකරගෙන සිටිති.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග මෙම ක්‍රීඩකයන් පසුගියදා (07දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ක්‍රීඩකයන්ට නව කොන්ත්‍රාත් ගිවිසුම හිමිව තිබේ.

පැතුම් ශ්‍රී විජේරත්න