මෙම වසරේ  නේපාලයේදී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් කපාදමා ඇමති උපදේශකයන් උතුම් 32 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊට සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී ඇති බවට   වාර්තා වේ.

මෙම පිරිස අතර, ක්‍රීඩා අමාත්‍යායාංශයේ ඉහළ නිලධාරීන්, ඔවුන්ගේ ලේකම්වරු, උපදේශකයන්, අමාත්‍යාංශයේ මූල්‍ය පපාලන නිලධාරීන් සහ ව්‍යාපෘති නිලධාරීන්ද වන බවට අනාවරණය වේ.

මෙහි පවතින කනගාටුදායක කරුණ නම් දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරීයෙකු, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරණ සහකාරවරයකු, ප්‍රධාන මූල්‍ය නිලධාරී, ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශකයෙකු, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණකාධිකී, සහකාර අධ්‍යක්ෂවරියන් දෙදෙනෙකු (පාලන සහ ක්‍රීඩා) සහ ව්‍යාපෘති නිලධාරීන් 10කට මෙම සංචාරය සඳහා අනුමැතිය ලබාදීමයි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ අත්සනින් යුතුව පසුගිය 06 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති මෙම නිලධාරී මණ්ඩලයට ඇතැම් නිලධාරීන් ඇතුළත් වූයේ කුමන පදනමක සිටද යන්න පිළිබඳ
ඇත්තේ ගැටලුකාරී තත්වයකි.

මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයකට අසාධාරණයක් සිදුව ඇති අතර, ඔවුන්ගේ නම් තරගාවලියෙන් කපාදැමීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැමිණිලි කිහිපයක්ද ලබාදී ඇති බවට වාර්තා වේ.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මාධ්‍ය හමු පවත්වමින් පවසා සිටියේ දකුණු ආසියානු තරගාවලියට සහභාගි වන සමස්ත කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, තාක්ෂණික නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරින් මුදල් වැය කිරීමේ ගැටලුවක් නිසා සංශෝධිත නාමලේඛනයක්  යළිත් සකස් කරන බවයි.

ඒ අනුව 690ත්ව තිබුණු සමස්ත කණ්ඩායම 450ක් වැනි ප්‍රමාණයක් දක්වා අඩු කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබුණි. එහිදී වැඩි නම් ප්‍රමාණයක් ඉවත් කෙරුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි.

කෙසේ වෙතත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කරමින් සංශෝධිත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ පසුබිම මධ්‍යයේ ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා අමාතයංශය එක්ව ඔවුන්ගේ නිලධාරින්ට නේපාල සංචාරයක් ලබාදීම් පිළිබදව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටිනුයේ බලවත් පසුතැවිල්ලකිනි.

එලෙස ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්  පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේත්තුවේ නිලධාරි තරගාවලියට සහභාගි කරවීමට ඔවුන්ව තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි. තරගාවලියට සහභාගිවීමට ප්‍රමාණවත් මුදල් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව නොමැති නම් ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයේ
නිලධාරීන්ව මේ සඳහා සහභාගි කරවනුයේ කෙසේද යන්න පිළිබඳ ඇත්තේ කුකුසකි. මෙය හුදෙක් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදෙන අල්ලසක් බවද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ චෝදනා කර සිටිති.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙවැනි ආකාරයෙන් අමාත්‍යාංශ නායකයන් නේපාලයට යැවීම අනුමත කළේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේද ගැටලුවකි. එහෙයින් අමාත්‍යවරයා දැනුවත් කළ යුතුව ඇත්තේ සිය හිතවාදීන් සහ අමාත්‍යාංශ උපදේශකයන් ඇතුළු නිලධාරීන් මෙලෙස මෙම තරගාවලියට යැවීම නොව ඒ එක් අවස්ථාවක් හෝ අත්දැකීම් ලබාගැනීමට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවේද?

පැතුම් ශ්‍රී විජේරත්න