තමන් ජනාධිපති විමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මහත්මයා සමග සාමය වෙනුවෙන් ලිපි 42ක් හුවමාරු කරගත් බවත් ඉදිරියේදී එම ලිපි  ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සුදානමින් සිටින බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  පැවැසුවාය. හිටපු
ජනාධිපතිනිය මේ බව  පැවැසුවේ යාපනය වීරසිංහම්  ශාලාවේදී පෙරේදා (11) පැවැති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වෙමින් රැස්වූ  සිටි පිරිස අමතමිනි. එහිදී හිටපු ජනාධිපතිනිය මෙසේ ද පැවැසුවාය.

"මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 8ක් එල්.ටි.ටි.ඊ.ය සමග සාම සාකච්ඡා කරගෙන ගියා යුද්දේ නවත්තලා මේ ප්‍රශ්න කොහොම ද විසඳන්නේ කියලා  බලන්න. නමුත් මාස අටකට පස්සේ  එල්.ටී.ටී.ඊ.ය යළිත් යුද්දෙකට ගියා. ඒ  අතරෙත් යුද්ධ කරදිත් සාම සාකච්ඡා වෙලාවේදී මා එල්.ටි.ටි.ඊ. නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42ක්.  එයායි මමයි හුවමාරු කරගත්තා. ඒ ලියුම් මා ගාව තියෙනවා. අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.  එතැනදි මම කිව්වා යුද්ද කරන ඕන නම් ඔයා යුද්ද කරන්න. එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්දේ කරනවා, නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ  වෙලා තියෙන්නේ, නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවා ද කියලා.

එතකොට අපේ නිලධාරින් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊ.යත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න. ඒ අයට වතුර ලබා දෙන්න, ආහාර ලබා දෙන්න, පුළුවන් තරම් රැකියා ලබා දෙන්න, කෘෂිකර්මය නැවත පටන් ගන්න, වැව් ආදිය හදල දෙන්න ඔයගොල්ල එකග වෙනවා ද කියලා ඇහුවා. ප‍්‍රභාකරන් මහත්මයා කෙළින්ම කරේ එකග නැහැ, ඔයගොල්ලන් මොකුත් කරන්න එපා කිව්වා. කවදා හරි ඒව කරනවා නම් කරන්නේ මම විතරයි කිව්වා.  ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසේ යාපනය නිදහස් කරගත්තා. ඊට පස්සේ අපි ටික ටික යාපනය ඇතුළු පළල්ල සංවර්ධනය කරන්න පටන් ගත්තා.
ඊට පස්සේ එල්.ටී.ටී.ඊ.යටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා ඒ ගොල්ලන් විරුද්ධ වෙන්නේ නැතිව අපිට කරන්න දුන්නා.

එදා එල්.ටී.ටී.ඊ. ත්‍රාස්තවාදීන් එක පැත්තක ඉන්නවා. සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා  කෙරුවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කළවම් කරගත්තේ නැහැ. ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊ.ය යුද්ධ කරන්න ඕන කිව්වා. මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා. සාම සාකච්ඡාවලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්ද කරන්න ඕන කිව්වා. එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ. යුද්දෙට එනකොට ඒ කෙනා  එක්ක අපි යුද්ධ කරන්න ඕන. නමුත් මම පුළුවන් තරම් පෞද්ගලිකව සතියේ එක දවසක් සම්පූර්ණයෙන් හමුදාවේ නායකයන් සමග සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටි.ටි.ඊ. නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුළුවන් තරම් හානිය අඩු කළේ." යැයි ද ඇය සඳහන් කළාය.

-රෝමේෂ් මධුසංඛ-