මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනොට එරහි අධිචෝදනා පත්‍ර භාරදුන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.

වසර නවයකට පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇති අතර, අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කළ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමටද නියම කළේය.

මෙම නඩුව විභාග කරන සමිපත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

අධිචෝදනා
පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්.  රවින්ද්‍ර රූපසේන සිහවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්.කනිෂ්ක ගුණරත්න,අයියසාම් බාලසුබ්‍රමනියම්, ඩී.පී. තරංග ප්‍රසාද් ගමගේ සහ ඊ.පී.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය.

2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ,කොස්වත්ත, බත්තරමුල්ල, අඩාලච්චේන හා අක්කරෙයිපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එන්නැළිගොඩ නමැත්තා අයුතු  ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද, ඒ අනුව නීතිවිරෝධී රැස්වීමක් සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇති අතර, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17ක් යටතේ නඩු පවරා ඇත.

විත්තිසුරුවන් සිදුකළ වැරදිවල බරපතළ තත්ත්වය, එම වැරදි සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාතන්තර වශයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්වය හේතුවෙන් මෙවැනි සංකීර්ණ, තාක්‍ෂණික නඩුවක් ඇති කරණු මෙන්ම එම කරුණුවල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් භමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින්
නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලු පත් කරන ලදී.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව නඩුව කැඳවනු  ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමුණුම් හා ගොනු විත්තිකරුවන්ට වෙන වෙනම අධිකරණය විසින් භාරදින ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරුන් ඇතුළු නීතීඥ කණ්ඩායම් කරුණු දක්වමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්‍ෂ 15 බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 30 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනා බැගින් වන ශරිර ඇප මත තම සේවාදායකයන් මුදාහළ බව දැනුම් දුන්හ.

එහෙයින් තම දායකයන්ට ඇප නියම කරන්නැයි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කළ පසු ඔවුන් කිසිදු ඇප කොන්දේසියක් කඩනොකොට නොමැති හෙයින් විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතැයි පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් කොන්දේසි සහිතව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැදවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ් ප්‍රේමරත්න, අනුර මැදේදෙගොඩ යන මහත්වරුන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටී.

- බුද්ධිමාල් රුබේරු