“දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් ජනතාවගේ ආගම හෝ ජාතිය හෝ දඩමීමා කර ගැනීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය නොවුණ ද මෙවර ජනතාව
තුළ ආගම, ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළුගැන්වීමට කටයුතු කළ පක්ෂය ජය ලබා ඇතැයි ද එයත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තවදුරටත් අඛණ්ඩව පෙනී සිටිතැයි ද නිවේදනයේ සඳහන්ය. එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය  නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහ ශ්‍රී ලාංකීය  ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරමි.  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික  පෙරමුණ යටතේ හංසයා ලකුණෙන්  ජනාධිපතිවරණයට එක් වූ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත සියයට 41.99ක ප්‍රතිශතයක් සහිතව ඡන්ද  5,564,239ක් ලබාදුන් ශ්‍රී ලාංකීය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

රට තුළ පැවැති ප‍්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලු පුළුල්කොට, ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප විසින් ඇති කරන ලද නිදහස් හා සාමකාමී වාතාවරණය හේතුවෙන් මෙවර පූර්ව මැතිවරණ සමය තුළ, මින් පෙර අප අත්දුටු අමිහිරි අත්දැකීම්වලට මුහුණ දක්නට සිදු නොවූ බව ද වෙසෙසින් සඳහන් කළ යුතුය. එහෙත් මෙතෙක් අප විසින් රට තුළ උදා කර තිබු නිදහස් හා සාමකාමී වාතාවරණය විනාශ කරන අන්දමේ ඇතැම් අමිහිරි සිදුවීම් පිළිබඳ තොරතුරු ජනාධිපතිවරණය නිමා වූ සැණින් වාර්තා වෙමින් පවතින අතර, ඒ පිළිබඳ රටේ ජනතාව
වෙනුවෙන් ඉතා කනගාටුවට පත්වෙමි.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම වෙනුවෙන් ජනතාව ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක් වශයෙන් නිහතමානීව පිළිගනිමු. දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රටේ ජනතාවගේ ආගම හෝ ජාතිය දඩමීමා කරගැනීම අප පක්ෂයේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් අමතර මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ ජනතාව තුළ ආගම සහ ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළු ගැන්වීමට කටයුතු කළ පක්‍ෂය ජයග්‍රහණය ලබා ඇති බවයි. ඒ සඳහා ජනමතය ගොඩනැගීමට දායක වන ඇතැම් පාර්ශව විසින් කටයුතු කළ ආකාරය ද නිවැරැදි හෝ සාධාරණ නොවේ.

ජාතිවාදයෙන් තොර, ආගම් භේදයෙන් තොර ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අප පක්ෂය සතු පැහැදිලි දේශපාලන දැක්ම හා වැඩපිළිවෙළ ජනතාවට අවබෝධ කරවීම දුෂ්කර වූයේ ද එම පාර්ශ්වකරුවන් විසින් ගෙන ගිය වංචනික ක්‍රියාකලාපය හේතූවෙනි. කෙසේ වුව ද නොබෝ දිනකින්ම ජනතාව මෙම ක්‍රියාදාමයන්හි සත්‍ය පසුබිම හඳුනාගනු ඇත.

ජනාධිපති අපේක්ෂක ප්‍රේදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වකීය ඡන්දය ප්‍රකාශ කරමින්, ගත වූ වසර පහකට ආසන්න කාලය තුළ අප විසින් ක්‍රියාවට නංවන ලද සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස පෙනී සිටි සියලු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන්  තවදුරටත් අඛණ්ඩව පෙනී සිටින බවත්, ඒ  වෙනුවෙන් අප පක්ෂය දිවිහිමියෙන් පෙනී සිටින  බවත් සිහිපත් කරමි.