බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයකුව සිටින අයකු විසින් පහරදුන් බව කියමින් දෙදරු පියකු බෙලිඅත්ත දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙලිඅත්ත පොලිසිය කියයි. මෙලෙස රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටින්නේ
හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි. බෙලිඅන්ත දෙවැනි විස්කම්පුර ප්‍රදේශයේදී 16 දා 6.30ට පමණ මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ පුද්ගලයා මිට පෙර බෙලිඅත්තේ පදිංචිකරුවකු වන අතර මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහු හංවැල්ලේ සිට
බෙලිඅත්තට පැමිණ සිටියදී මෙලෙස පහරකෑමට ලක්වූ බව ඔහු කියයි. තමාගේ ඥාති පුද්ගලයකුගේ නිවසෙහි රැදී සිටීදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනකු එම නිවස ආසන්නයේ යතුරුපැදිය නවතා නම අමතා තමා කැඳවූ බව පහරකමට ලක්වූ පුද්ගලයා කියයි. ඔවුන් ආසන්නයට ගිය පසු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීයා බව කියන පුද්ගලයා තමාට බැන වැදී යතුරුපැදි හිස්වැස්මෙන්  තමාගේ මුහුණට සහ කනට පහරදුන් බවද ඔහු කියයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එම මන්ත්‍රිවරයා ඉදිරීපත් වූ පක්ෂයට ඡන්දය ලබා නොදී වෙනත් පක්ෂයකට සහයෝගය ලබාදීම හේතුව එයට බැනවැදී තමාට මෙලෙස පහරදුන් බව ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින පුද්ගලයා බෙලිඅත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සිද්ධියට අදාළ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවයි.එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාැීන් වැඩිදුර පරීක්ෂණ කරති.

තංගල්ල - සහම්පති මානගේ