අත්අඩංගුවට ගත්නා අවස්ථාවේ තිබූ මත්ද්‍රව්‍ය වෙනුවට වෙනත් මන්ද්‍රවයක නමක් සඳහන් කර නඩු පැවරීමට හැකි බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා සිටි බව කියන බත්තරමුල්ල
සුරාබදු කාර්යාලයේ සුරාබදු නියාමකවරයෙකු හා ඊට සහාය වු තවත් පුද්ගලයෙක් ඊයේ (14දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිප්සම් සභාවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසිය.බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි
පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බවද, සැකකාර සුරාබදු නියාමකවරයා පාදුක්ක පදිංචිකරුවෙකු බවත්, අනෙක් සැකකරු මරඳාන පදිංචිකරුවෙකු බවත් පොලීසිය පැවසීය. පැමිණිලිකරුගේ සහෝදරයෙකු සැකකාර සුරාබදු නියාමකවරයා විසින් අයිස් මත් ද්‍රව්‍ය සමග පසුගියදා අත්අඩංගුවට ගෙන තිබී ඇති අතර ඒ මත්ද්‍රව්‍ය වෙනුවට ගංජා අඩංගු කර නඩු පැවරිය හැකි බව පවසා මේ අයුරින් මෙම මුදල් ඉල්ලා තිබූ බවයි ප්‍රියන්ත චන්දසිරි මහතා පවසන්නේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර පිළිගත හැකි සාක්ෂි සහිතව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ