අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පැරණි චූඩා මාණික්‍යය ඉවත්කර පළඳවන නව චුඩා මාණික්‍යය මහ ජනතාවට වැඳපුදා ගැනීම සඳහා කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි ඊයේ (18) තැන්පත් කෙරුණු අතර එය හෙට (20) දක්වා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවිය හිමියන්ගේ සහ රුවන්වැලි
චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස්

පරිදි පියවර ගෙන තිබේ.

ඒ අනුව අලුතින් නිර්මාණය කළ මෙම රන් පාදම් සහිත චූඩාමාණික්‍යය එය නිපදවූ විදේශීය සමාගමේ සිට මෙරටට වැඩම කරවා තිබේ.

කොළඹදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නව චූඩා මාණික්‍යය අනුරාධපුරයට වැඩමකරවීමට නියමිතව ඇති අතර අනතුරුව මහජනයාට වැඳපුදා ගැනීම සඳහා රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් තුළ දින කිහිපයක් තැන්පත් කෙරෙනු ඇත. මෙම
නව චූඩාමාණික්‍යය රුවන්වැලි මහසෑයේ පැළදවීමට සුදුසු සුබ වේලාවක් සකස් කිරීම සඳහා දෙස් විදෙස් ජ්‍යොතීර්වේදින් කීප දෙනකුට පවරා ඇතැයි දැනගන්නට තිබේ. රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ

අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පළිගු පාෂාණ සැපයීමේ සහ කැටයම් කිරිමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැදින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටිනා දුලබ පලිඟුවකින් මෙම චූඩාමාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ටේ‍්‍රලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම් වෙනුවෙන් පිරිසිදු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩගන්වන ලද ස්වාභාවික නිල් මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ. රුවන්වැලි මහා සෑයේ පිළිසකර කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර එය මෙන්ම තව චුඩාමාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති 'විශ්ව පාරමී' පදනම මගිනි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.

ඩයනා උදයංගනී