මෙවර ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්‍ෂකයන් සඳහා රුපියල් කෝටි ගණන් මුදලින් සහ දේපළවලින් ඔට්‌ටු ඇල්ලීම ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති බවට තොරතුරු ආරක්‍ෂක බුද්ධි අංශ වෙත ලැබී ඇත.

සංවිධානාත්මක පිරිස්‌ මෙන්ම ඔට්‌ටුකරුවන් විසින් මෙම ඔට්‌ටු ඇල්ලීම රට පුරාම ක්‍රියාත්මක කර ඇති අතර ඒවා ඇතැම් අවස්‌ථාවල ප්‍රසිද්ධියේ මෙන්ම රහසිගතවද සිදුවන බව වාර්තා වෙයි.

මෙම ඔට්‌ටු ඇල්ලීම් විශාල වශයෙන් සිදුවන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනකු වෙනුවෙන් බවද වාර්තා වෙයි.

මෙම ඔට්‌ටු ඇල්ලීම මෙවර ජනාධිපතිවරණයේ කුප්‍රකට අංගයක්‌ බවට පත්ව ඇති බවද ආරංචි මාර්ග පවසයි.

ඇතැම් පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණයේ තමන් යෝජනා කරන අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන බවට රුපියල් කෝටි ගණනින් මුදල් ඔට්‌ටු සඳහා වෙන්කර ඇති අතර ඇතැමුන් ඒ සඳහා ඉඩකඩම්, නිවාස, යාන වාහන ඇතුළු තවත් වටිනා දේපළ ඔට්‌ටු අල්ලා ඇති බවද වාර්තා වෙයි.

රත්නපුර, මහනුවර, කොළඹ, කෑගල්ල, ගම්පහ, ගාල්ල, මාතර, කුරුණෑගල ප්‍රදේශවල මෙම ඔට්‌ටු ඇල්ලීම් ඉතාම ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී ඇති අතර කොළඹින් දුර බැහැර ප්‍රදේශ රැසකද මෙවැනි ඔට්‌ටු ඇල්ලීම් බහුලව සිදුවන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මැතිවරණ සමයේදී අදාළ ඔට්‌ටු තැබීම් නීතියෙන් වලංගු නොවන්නක්‌ වුවත් විවිධ ප්‍රදේශවල විවිධ මට්‌ටමේ පුද්ගලයන් අප්‍රසිද්ධියේ මෙන්ම ප්‍රසිද්ධියේ මෙම ක්‍රියාවන් සිදුකරගෙන යන බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මැතිවරණ පොලිසිය, කොමිසම, කැෆේ සංවිධානය සහ පැෆරල් සංවිධානයද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු නීති විරෝධී සියලු මැතිවරණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිය පූර්ණ අවධානය යොමුකර ඇති බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

හේමන්ත රන්දුණු - සුජීව තත්සර