ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් කොළයක් ඡන්ද  පෙට්ටියට දැමූ ඡන්දදායකයකු බණ්ඩාරගම - රයිගම පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී
අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු වලංගු ඡන්ද පත්‍රිකාව රැගෙන ඡන්ද
සලකුණු  කරන ස්ථානයට ගොස් ඉතා සුක්ෂම අයුරින් එය කලිසම් සාක්කුවේ දමාගෙන ඔහු පිටතින් රැගෙන ආ සුදු පැහැති කොළයක් ඡන්ද පෙට්ටියට දැමූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකරුගේ එම ක්‍රියාව දුටු ජ්‍යෙෂ්ඨ ඡන්ද පොළ ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු කළ වැරැද්ද පිළිගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් එම ඡන්දදායකයා බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු බවත් ගෝනපොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතවරයකු ලෙස රැකියාව කරන්නකු බවත් හෙළිවී ඇත.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-