අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ලැබ සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ 27 වැනිදා පැවැති පළමු කැබිනට් හමුවේදි අජිත්
නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වූ අතර, 2006 වසරේ සිට 2015 වසර දක්වා එම ධුරය හෙබවූවේය. වරලත් ගණකාධිකාරිවරයකු වන හෙතෙම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ  හා දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමට පෙර කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර, සමාගම් ගණනාවික සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු හොබවා ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යනාදියේ අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර ඇති කබ්රාල් මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ "2000 මල්ටිනෙෂන්' වැඩසටහනේ අධි ශිෂ්‍යත්වලාභියෙකි.

-හර්ෂ තුෂාර සිලවා-