https://www.gossiplankanews.com/2019/11/npp-defeat-statement.html
නාධිපතිවරණයෙන් ජයගත නොහැකි වුවද ජනතාවත් රටත් වෙනුවෙන් සිය වගකීම හා යුතුකම් මදකුදු අඩු නොකර ඉටුකරන බව  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඊයේ (17) නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ.  ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට මෙම ජනාධිපතිවරණයේදි ලැබි ඇති ඡන්ද සංඛ්‍යාව
පිළිබඳව සතුටුවීමට  නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකිවූ බව අප පිළිගත යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම්වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි, වාමචාදි හා සැබෑ දේශප්‍රේමී  දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරිමට අපි සමත්විමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණු වේදිකා තුළ සිදුකරන එකිනෙකාට මඩ ගැසීම,  අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු

තොග ගණනින් දිම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇතිකිරීමට  අපි කටයුතු කළමු. එම සංවාදය තුළට මෙරට බොහෝ දෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.

අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුළුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දී ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමඟිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට  හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අපි දකිමු. ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට උතුරේ ජනතාව තුළත්  දකුණේ ජනතාව තුළත් නිරිමාණය කරනු ලැබූ බිය උපයෝගී කරගෙන ජන මනස නොමග යවා, ජනතාවගේ ඡන්දය තමන්ට  ලබාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කටයුතු කළ බව පැහැදිලිය.

ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කොට ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට එම තත්ත්වය තුළ ඉඩක් නොවූ බව පැහැදිලිය. කෙසේ වෙතත් මෙම ජනපතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ අය තම ජයග්‍රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටුවුවද ජනතාවගේ පැත්තෙන් ගත්විට මෙහිදී ජනතාව ජයග්‍රහණය කර නැති බව ඉතා පැහැදිලිය. රට තුළ පවතින ඉතා බරපතළ සමාජ  ආර්ථික දේශපාලන හා සංස්කෘතික අර්බුදයට මෙම බලයට පත්  අයට විසඳුම් නැත. එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71 වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී

සමාජ ජීවිතයම වේ.

තමන් ජයග්‍රහණය කර නැති බවත් තම ජයග්‍රහණය ඉදිරියේදි දිනාගත යුතු බවත් ජනතාව ඉක්මණින්ම තේරුම් ගනු ඇතැයි අපි සිතමු. එම ජනතාවත්, රටත් වෙනුවෙන් අපි අපේ වගකීම හා කාර්යභාරය මදකුදු අත්නොහැර ඉටුකරන බවද අවධාරණය කර  සිටිමු. අවසාන වශයෙන් මෙම ජනාධිපතිවරණය පුරාම අප සමග සහයොගයෙන් අත්වැල් බැඳගත් සැමටත් කිසිදු පටු දේශපාලන ලාභ අපේක්ෂාවකින් තොරව අපට නන් අයුරින් සහාය දුන් සැමටත් අපේ ස්තුතිය පිරිනමමු. ජනතාව ඉදිරියේ තැබු අපේක්ෂාව අපරාජිත බවත් එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි නොසැලී සටන් වදින බවත් යළි යළිත් සහතික කරමු.