ශ්‍රී ලතා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය ('ඒ' සහ 'බී' කාණ්ඩායම්) දින නියමයක් නොමැතිව කල් දමා  අතැයි වාර්තා වේ.
මෙලෙස මෙම තරගාවලිය කල් දැමීමට ප්‍රධානතම හේතුව තරගාවළියේ ව්‍යුහය වෙනස් කිරීමට ශ්‍රී ලක ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීමයි.

කෙසේ වෙතත් තරගාවලියේ ව්‍යුහය වෙනස් කිරීමට පසුගිය කාලය පුරාම අවශ්‍ය තරම් කාලය වත්මන් ක්‍රිකටි පරිපාලනයට තිබුණද  ක්‍රිකට් ලොක්කෝ විදෙස් සංචාර යාම නිසා එය සිදු කිරීමට නොහැකි වී ඇතැයි ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෝ චෝදනා කර සිටිති.

මේ හේතුවෙන් මෙම ප්‍රිමියර් තරගාවලිය ලබන වසර දක්වා ඇදෙන ලකුණු පහළ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් තරගාවලිය
මෙම වසරේ දෙසැම්බර් මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය කල් දැමීමට ඉහත කී කරුණු හේතු පාදක වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු පුවත්පතට පවසා සිටියේ තරගාවලියේ විනය වෙනස් කිරීම සඳහා අතිවිශේෂ මහ සභා රැස්වීමක් (EGI) ඉතා ඉක්මනින් කැඳවීමට පියවර ගෙන ඇති බවයි. මෙම අතිවිශේෂ මහසභා රැස්වීමේදී මේ වන විට 'ඒ' කාණ්ඩය යටතේ තරග කරන ක්‍රීඩා සමාජ ප්‍රමාණය 10ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවද වාර්තා වේ.

ඊට අමතරව අතිවිශේෂ මහසභා රැස්වීමේදී තරගාවලියේ ව්‍යුහය වෙනස් කිරීමත් සමඟ දින 02ක් ඇතුළතදී 'ඒ' කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට රු. මිලියන 23ක්ද, 'බී' කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට රු. මිලියන 17ක්ද ලබාදීමට යෝජනා කර ඇතැයි ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් උපරීම මුදල වූයේ රු. මිලියනයකි.මෙම තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (27දා)  ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩා සමාජ සමහ සාකච්ඡාවක් පවත්වා ඇතැයි කරුණු වාර්තා වන අතර, එම සාකච්ඡාවට මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ කිහිපයකට ආරාධනා කර නොතිබීම විවාදයට තුඩු දී තිබේ.

මේ වන විට මෙරට නැගී එන ක්‍රිකට් කණ්ඩායම ඕමානය, ඇෆ්ගනිස්තානය වැනි රටවලට පැරදීමට හේතුව ලෙස මෙවර ප්‍රිමියර් තරගාවලිය වැනි තරගාවලි නොපැවැත්වීම බවත්, වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ ක්‍රිකට් දියුණු කිරීම නොව වෙනත් කටයුතු සඳහා මුදල් වියදම් කිරීම බවත් ක්‍රිකට් විධායක කමිටුවේ සමහර සාමාජිකයෝ චෝදනා මුඛයෙන් පවසා සිටියහ.

මෙම ප්‍රිමියර් තරගාවලිය ලබන වසර දක්වා ඇදෙන ලකුණු පහළ වී තිබුණද ලබන වසර ශ්‍රී ලංකා ක්‍රිකටි කණ්ඩායමට මෙරටදී බහුතර තරගාවලි සංඛ්‍යාවක් පැවැත්වීම හේතුවෙන් එය පැවැත්වීමද අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

පැතුම් ශ්‍රී විජේරත්න