ජාතික ආරක්ෂාව සහ හදිසි ආපදා කළමනාකරණ තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මගින් කෙටි පණිවුඩ සේවාවක් අද ආරම්භ කරන ලදි.

ජනතාව කලබලයට
හා භීතියට පත්කරන කටකතා සහ තොරතුරු පැතිරීම වැලැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ආරම්භ කල බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය..

ආරක්ෂක අංශ මාධ්‍ය කේන්ද්‍රයේ සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ අධීක්ෂණය මත දුරකතන සමාගම් හරහා මෙම කෙටි පණිවුඩ සේවාව බෙදා හැරෙන බව ඒ මහතා කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ සියළු දුරකතන සමාගම් සමග ඇතිකරගත් සහයෝගීතාවක ප්‍රතිපලයක් ලෙස මෙම කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මකය.